බිටු ලින්ක් විදුලි බලය වොලිබෝල් අවසන් තරගයට | දිනමිණ

බිටු ලින්ක් විදුලි බලය වොලිබෝල් අවසන් තරගයට

යුද සහ ගුවන් ක්‍රීඩිකාවෝත් අවසන් සටනේ

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධාන කරන ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් පිරිමි අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට බිටු ලින්ක් ගෘෘප් ක්‍රීඩා සමාජය සහ විදුලිබල මණ්ඩල කණ්ඩායම සමත් වෙයි.

ගාල්ල දඩල්ල වොලිබෝල් හවුස් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති තරගාවලියේදී බිටු ලින්ක් ක්‍රීඩකයෝ අපරාජිතයන් ලෙස අවසන් තරගයට එක්වීම විශේෂත්වයකි.

කණ්ඩායම් 10ක් කාණ්ඩ 2ක් යටතේ එක් වූ මේ තරගාවලියේ අවසන් පූර්ව වටයේදී විදුලිබල පිල තියුණු සටනකින් අනතුරුව ගුවන් හමුදා කණ්ඩායම වට 3-2කින් පරාජයට පත් කළ අතර, යුද හමුදාව වට 3-1කින් පරාජය කිරීමට බිටු ලින්ක් ක්‍රීඩකයෝ සමත් වූහ.

ගුවන් - විදුලිබල අවසන් පූර්ව තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර, මුල් වටය ලකුණු 25-22ක් ලෙසත් දෙවැනි වටය ලකුණු 31-29ක් ලෙසත් ජය ගැනීමට ගුවන් හමුදාව සමත් විය. එහෙත් තෙවැනි වටයේදී ආක්‍රමණශීලි ක්‍රීඩාවක නිරත වූ විදුලිබල ක්‍රීඩකයෝ 25-18ක් ලෙස පහසුවෙන් එම වටය ජයගත් අතර, කරට කර පැවැති සිව්වැනි වටය 31-29ක් ලෙස ජය ගැනීමට ද ඔවුන් සමත් වූහ. තීරණාත්මක 5 වැනි වටය ලකුණු 15-10ක් ලෙස ජය ගනිමින් අවසන් තරගයේ ස්ථානය වෙන් කර ගැනීමට විදුලිබල පිල සමත් වූයේ ගුවන් හමුදා පිල තෙවැනි ස්ථානය සඳහා තරගයට එක් කරමිනි.

දෙවැනි අවසන් පූර්ව තරගයේදී ලකුණු 25-22ක් ජය ගනිමින් යුද හමුදාව සාර්ථකව තරගයට අවතීර්ණ වුවත් ඉතිරි වට 3ම ජය ගැනීමට බිටු ලින්ක් පිලට හැකි විය. එහි ලකුණු තත්ත්වය වූයේ 25-20, 25-18ක් සහ 25-14ක් ලෙසිනි.

මූලික වටයේ 'ඒ' කාණ්ඩයෙන් තරග කළ විදුලිබල පිල විසින් ඕෂන් ලංකා, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය පරාජය කළ අතර, යුද හමුදාව හමුවේ වට 3-1කින් පරාජයට පත් විය.

අපරාජිත බිටු ලින්ක් පිල විසින් මූලික වටයේදී 'බී' කාණ්ඩයෙන් තරග වදිමින් වාසනා බේකර්ස්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ජාතික තරුණ සේවා සභාව සහ වරාය අධිකාරිය පරාජයට පත් කළේය.

මේ අතර, සුපර් ලීග් කාන්තා තරගාවලියේ අවසන් තරගයේ ස්ථාන වෙන් කර ගැනීමට යුද හමුදාව සහ ගුවන් හමුදාව සමත් විය. මේ කණ්ඩායම් දෙකම අවසන් තරගයට පිවිසියේ අපරාජිතයන් ලෙස වීම විශේෂත්වයකි.

පළමු අවසන් පූර්ව තරගයේදී ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ හමුවේ නාවික හමුදා පිල වට 3-1කින් (25-20, 25-22, 20-25 සහ 25-1) පරාජයට පත් විය.

දෙවැනි අවසන් පූර්ව තරගයේදී හයිඩ්‍රාමනී කණ්ඩායම තියුණු තරගයකින් පසු යුද හමුදා ක්‍රීඩිකාවන් වෙතින් පරාජයට පත් විණි. එහි පළමු වටය 25-14 යුද හමුදාව ජයගත් අතර, දෙවැනි වටයෙන් හයිඩ්‍රාමනී පිල ජය ගත්තේ 25-21ක් ලෙසිනි. තියුණු මුහුණු වරක් ගත් තෙවැනි වටය 32-20ක් ලෙස ජයගත් යුද හමුදා පිල සිව්වැනි වටය 25-23ක් ලෙස ජය ගනිමින් අවසන් තරගයේ ස්ථානය වෙන් කර ගත්තේය. මේ කාන්තා තරගාවලියේ මූලික වටයට කණ්ඩායම් 8ක් එක්ව සිටියේය.

සිලෝන් බිස්කට් සමාගමේ මන්චි අනුග්‍රහයෙන් පැවැත්වෙන මේ තරගාවලියේ තෙවැනි ස්ථාන සඳහා තරග ඊයේ දඩැල්ලේදීම පැවැත්වීමට නියමිතව තිබූ අතර, පිිරිමි සහ කාන්තා අවසන් මහා තරග දෙක මේ මස 13 වැනිදා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

නිරෝෂන් ප්‍රියංකර

නව අදහස දක්වන්න