ටොම් මූඩි එයි | දිනමිණ

ටොම් මූඩි එයි

ශ්‍රී ලංකා පිල වසර 2007 එක්දින ලෝක කුසලාන තරගාවලියේ අනුශූරතාව දිනා ගනිද්දී කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබේ.

ඔහු මීට පෙර වසර 2005 සිට 2007 දක්වා කාලය ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, ඒ කාලය තුළ ශ්‍රී ලංකාව ටෙස්ට් තරග බිමේදී ද කැපී පෙනෙන දස්කම් දැක්වීය.

පසුගිය කාලයේදි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග බිමේ සහ කැරිබියන් ලීග් තරග බිමේ පුහුණුකරුවකු ලෙස කටයුතු කළ ටොම් මූඩි වසර 3ක කාලයකට ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම්ගත වී ඇති අතර, එම කාල සීමාව මාර්තු 1 වැනිදා සිට බලපැවැත්වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ විදෙස් තරග සංචාර සහ මෙරට දේශීය තරගාවලි සැකැස්ම විශ්ලේෂණය කිරීම මෙන්ම ක්‍රීඩකයන්ගේ හැකියාවන් වර්ධනය කිරීම, අධිතාක්ෂණික ක්‍රියාවලිය හා දත්ත විශ්ලේෂණය කිරීම ඔහුගේ ප්‍රධාන කාර්යභාරය වනු ඇත.

ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇත්තේ තාක්ෂණික උපදේශන කමිටුවේ ප්‍රධානි අරවින්ද ද සිල්වාගේ නිර්දේශ මතය. මූඩි මෙරට පුහුණුකරු ලෙස කටයුතු කළ කාලයේදී ඔහු යටතේ ක්‍රීඩා කළ කුමාර් සංගක්කාර සහ මුත්තයියා මුරලිදරන් ද එම කමිටුවට ඇතුළත් වෙති.

නව අදහස දක්වන්න