ක්‍රිකට් ප්‍රවීණයෝ අද සිට ඉන්දීය පිටියේ | දිනමිණ

ක්‍රිකට් ප්‍රවීණයෝ අද සිට ඉන්දීය පිටියේ

නිරෝෂාන් ප්‍රියංකර

ඩිල්ෂාන් - ලාරා සටන හෙට

මාර්ග ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි වර්ල්ඩ්ස් සීරීස් ‘Road Safety World Series’ විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වෙයි.

ජගත් තරග බිමෙන් විශ්‍රාම ගෙන සිටින ප්‍රවීණ ක්‍රීඩකයන් එක්වන තරගාවලියට රටවල් 6ක් නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගි වෙයි.

සත්කාරක ඉන්දියාව සමඟින් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය මේ තරගාවලියට එක්වන අතර, පසුගිය වසරේ මාර්තු මස පැවැති තරගාවලියේ මූලික අදියර සඳහා ඔස්ට්‍රේලියාවෙන් ද කණ්ඩායමක් එක්ව සිටියේය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙවර තරගාවලියට එක් නොවන අතර, බංග්ලාදේශය සහ එංගලන්තය මුල් අදියරට එක්ව නොසිටියේය. ඉන්දියාවේ රායිපූර්හිදී පැවැති තරගාවලියේ මූලික වටයේ තරග 4ක් පැවැත්වීමෙන් අනතුරුව කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසරේ මාර්තු මාසයේදී තරගාවලිය අත්හිටුවීමට සංවිධායකයෝ කටයුතු කළහ. ඒ අනුව එතැන් සිට අද ආරම්භ වන මේ තරගාවලියේ මූලික වටය අද සිට 16 වැනිදා දක්වා පැවැත්වේ. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් 4 මේ මස 17 සහ 19 දෙදින අවසන් පූර්ව තරග දෙකට එක්වන අතර, අවසන් මහා තරගය මාර්තු 21 වැනිදා පැවැත්වීමට නියමිතය.

තරගාවලිය ආරම්භ කරමින් ඉන්දියාව සහ බංග්ලාදේශය අද (5) තරග වදින අතර, ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (6) බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව තරග බිමට පිවිසෙයි. මේ සියලු තරග රායිපූර්හිදී මෙරට වේලාවෙන් රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් තරග වදින අතර,

සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව), බ්‍රයන් ලාරා (කොදෙව්), ජොන්ටි රෝඩ්ස් (දකුණු අප්‍රිකාව), කෙවින් පීටර්සන් (එංගලන්තය) සහ මොහොමඩ් රාෆික් (බංග්ලාදේශය) සෙසු කණ්ඩායම්වල නායකයන් ලෙස කටයුතු කරති.

ශ්‍රී ලංකා සංචිතය - තිලකරත්න ඩිල්ෂාන් (නායක), උපුල් තරංග, චාමර සිල්වා, චින්තක ජයසිංහ, තිලාන් තුෂාර, නුවන් කුලසේකර, රසල් ආනල්ඩ්, අජන්ත මෙන්ඩිස්, ෆර්වේස් මහරුෆ්, සනත් ජයසූරිය, රංගන හේරත්, ධම්මික ප්‍රසාද්, චාමර කපුගෙදර, දුලංජන විජේසිංහ.

 

නව අදහස දක්වන්න