පාර්ලිමේන්තු ඒම ගැන තාම තීරණයක් නෑ | දිනමිණ

පාර්ලිමේන්තු ඒම ගැන තාම තීරණයක් නෑ

ශිරෝමි අබයසිංහ

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු අසුන සඳහා පත්ව යන්නේද පිළිබඳ තමන් තීරණයකට එළඹ නැතැයි එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂ නායකයා ඉකුත් නවම් පෝදා කොළඹ ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහරේ සමාරම්භක උත්සවයට සහභාගි වීමට ගිය අවස්ථාවේදී පාර්ලිමේන්තුවට පත්ව එන්නේ කවදා දැයි එහි පැමිණ සිටි ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් කළ විමසුමට පිළිතුරු දෙමින් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

‘‘ජනතාව මට ගෙදර ඉන්න කිව්වා. ඉතින් මම ගෙදර ඉන්නවා. ආයෙත් දේශපාලනයට එන්න කියලා ඉල්ලීමකුත් තියෙනවා. නමුත් තරුණ, අලුත් පිරිසක් ඉදිරියට ගේන්න තමයි මට ඕනේ. කොහොම වුණත් තාම මම මේ ගැන තීරණයක් අරගෙන නැහැ. ඕනේ නම් එළියේ ඉදන් වුණත් දේශපාලනය කරන්න පුළුවන්න‘‘ රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කළේය.

අත්දැකීම් සහිත නායකත්වයක් සහිත ශක්තිමත් විපක්ෂයක් පාර්ලිමේන්තුව තුළ නොමැතිවීම සම්බන්ධයෙන් එහි සිටි ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් අදහස් ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබේ.

නව අදහස දක්වන්න