රට පුරා ක්‍රීඩා පිටි සංවර්ධනය කරද්දී මුල්ගල් තැබීමේ ප්‍රතිපත්තියට තිත | දිනමිණ

රට පුරා ක්‍රීඩා පිටි සංවර්ධනය කරද්දී මුල්ගල් තැබීමේ ප්‍රතිපත්තියට තිත

ප්‍රින්ස් ගුණසේකර

වත්මන් රජය ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීම ආරම්භ කරද්දී මුල්ගල් තැබීමේ සාම්ප්‍රදායික ප්‍රතිපත්තියෙන් ඉවත්ව ඇතැයි ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා පවසයි. පසුගියදා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම අංග සම්පූර්ණ ක්‍රීඩා පිටිය බැගින්, ක්‍රීඩා පිටි 342 ක් සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කළද මුල්ගල් නොතැබූ බව ඒ මහතා පැවසීය.

ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය. ජාතික ක්‍රීඩා සංවර්ධන සැලැස්ම එළිදැක්වූ අවස්ථාවේ ටොරින්ටන් පිටිය ආරම්භ කරන බවට වූ සඳහනක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

ඉතිහාසයේ අවස්ථා දෙකකදී ටොරින්ටන් ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම උදෙසා දෙවතාවක් මුල්ගල් තැබූවද එම ක්‍රීඩා පිටිය තවමත් නිසි පරිදි සම්පූර්ණ කිරීමට අපොහොසත් වී ඇතැයි මාධ්‍යවේදියා ප්‍රශ්නයක් නගමින් පෙන්වා දුන් අතර, ඇමැතිවරයා පැවසුවේ එම ක්‍රීඩා පිටිය ඉදිකිරීම සඳහා පිළිගත් ටෙන්ඩර් පටිපාටිය අනුව කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවයි.

“ටොරින්ටන් ක්‍රීඩා පිටියට මුල්ගල් තියන්නේ නෑ. එම ඉදිකිරීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව සකස් කර තිබෙනවා. අගමැතිතුමා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන්කොටදී අවසන්. එහි මංතීරු 6ක සින්තටික් ධාවන පථයක් ඉදි වෙනවා. රාත්‍රී කාලයේ පුහුණු විය හැකි අයුරින් නවීනතම විදුලි ආලෝක ධාරා පද්ධතියක් සකස් කරනවා. ඉදිරියේදී වැඩ පටන් ගන්නවා” නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ක්‍රීඩා අමාත්‍යාංශයේ නව සැලසුම යටතේ ඉදිරියේ රට පුරා ජාතික ක්‍රීඩා සංකීර්ණ 4ක් ඉදිවන අතර, දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණ 12ක්, පාසල් පිහිනුම් තටාක සමඟ ක්‍රීඩාංගණ 8ක් හා වොලිබෝල් ක්‍රීඩා පිටි 22ක් ඉදිකිරීමට කටයුතු යෙදේ. ඉහළ ක්‍රීඩා මධ්‍යස්ථාන සංවර්ධන ආකෘතින් අතර දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය ජාතික ක්‍රීඩා මධ්‍යස්ථානය ලෙස සංවර්ධනය වන අතර පළාත් 9ක පළාත් කේන්ද්‍රීය ක්‍රීඩා මධ්‍යස්ථාන ස්ථාපිත වේ. මේවා සියල්ලම සින්තටික් ධාවන පථ සහිත අංග සම්පූර්ණ ක්‍රීඩා මධ්‍යස්ථාන වනු ඇත.

නව අදහස දක්වන්න