රිෂාබ්ගේ ශතකයෙන් ඉන්දියාව ඉදිරියට | දිනමිණ

රිෂාබ්ගේ ශතකයෙන් ඉන්දියාව ඉදිරියට

රිෂාබ් පාන්ට්ගේ සටන්කාමී ශතකය හේතුවෙන් සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ අහමදාබාද්හිදී පැවැත්වෙන සිව්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දියාව ඊයේ දිනයට ක්‍රීඩාව නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 294ක් රැස් කර තිබිණි.

එංගලන්ත පළමු ඉනිම ලකුණු 205කට සීමා වූ අතර, ඒ අනුව කඩුලු 3ක් අතැතිව සිටින ඉන්දියාව එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 89ක් ඉදිරියෙන් සිටී. දෙවැනි දිනයට ක්‍රීඩාව නතර කරන විට වොෂිංටන් සුන්දර් ලකුණු 60ක් සහ අක්ෂාර් පටේල් ලකුණු 11ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති. තෙවැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ සුන්දර් පන්දු 117කදී හතරේ පහර 8ක් ඉනිමට එක් කර තිබිණි.

ලකුණු 146කට කඩුලු 6ක් බිඳ වැටී තිබියදී පිටියේ එක් වූ රිෂාබ් සහ වොෂිංටන් සුන්දර් ලකුණු 113ක සබඳතාවක් සමඟින් මුළු ලකුණු සංඛ්‍යාව 259 දක්වා ඉදිරියට ගෙන ගියේය.

ඊයේ සිය තෙවැනි ටෙස්ට් ශතකය ලෙස ලකුණු 101ක් රැස් කළ පාන්ට් දැවී යෑමෙන් එම සබඳතාව නිමා විය. පන්දු 118කට මුහුණ දුන් ඔහු හතරේ පහර 13ක් සහ හයේ පහර 2කින් ඉනිම වර්ණවත් කර ගත්තේය.

රෝහිත් ශර්මා ලකුණු 49ක් ඉනිමට එක් කළ අතර, නායක විරාට් කෝලිට ලකුණු රැස් කිරීමට නොහැකි විය.

පන්දු යැවීමේදී ජෙම්ස් ඇන්ඩර්සන් කඩුලු 3ක් දවා ගත්තේය. අද තරගයේ තෙවැනි දිනයයි.

නව අදහස දක්වන්න