ගම්පොළ නගරයට නවීන සහසුකම්වලින් සමන්විත අධිකරණ සංකීර්ණයක් | දිනමිණ

ගම්පොළ නගරයට නවීන සහසුකම්වලින් සමන්විත අධිකරණ සංකීර්ණයක්

නුවන් කොඩිකාර
නීතිඥ සුපුන් රාජ­පක්ෂ

රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්නගේ මැදිහත් වීමෙන් ඉදි කිරීම් කඩිනම් වෙයි

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ සෑම අංශයකම සංවර්ධනය වේගවත් කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ගම්පොළ නගරයේ දැනට පවතින අධිකරණ සංකීර්ණය වෙනුවට නවීන පහසුකම්වලින් සමන්විත අධිකරණ සංකීර්ණයක් ඉදිකරමින් පවතී. 1939 වසරේ ඉදිකළ ගම්පොළ අධිකරණ සංකීර්ණයේ මේ වන විට ප්‍රමාණවත් පහසුකම් නැති බව එහි නීතිඥ සංගම් පෙන්වාදීමත් සමඟ ඊට අවධානය යොමු කළ ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති, නීතිඥ අනුරාධ ජයරත්න මහතාගේ සෘජු මැදිහත්වීමෙන් නව අධිකරණ සංකීර්ණය ඉදිකිරීම කඩිනම් කර ඇත.විශේෂයෙන්ම දැනට පවතින අධිකරණ සංකීර්ණයේ සිවිල් නඩු සහ අපරාධ නඩු කටයුතු විභාග කිරීමත්, ප්‍රමාණවත් පහසුකම් නැති වීමත් හේතුවෙන් එහි සේවය සපයන නීතිඥවරුන් මෙන්ම සේවය ලබාගැනීමට පැමිණෙන ජනතාව ද දැඩි අපහසුතාවන්ට පත්ව සිටිති. මේ සියලු කරුණු සැලකිල්ලට ගනිමින් ගම්පොළ නව අධිකරණ සංකීර්ණයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කළේය. ඒ අනුව ගම්පොළ පිහිටි සියලුම රාජ්‍ය ආයතන හා සේවා සපයන ස්ථාන නවීන පහසුකම්වලින් සමන්විතව සංවර්ධනය කිරීම සිය ඉලක්කය බව අනුරාධ ජයරත්න මහතා පැවසීය. තමන්ට ද නීතිඥවරයකු ලෙස අධිකරණවල ඇති පහසුකම් පිළිබඳ හොඳ අවබෝධයක් තිබෙන නිසා ගම්පොළ නීතිඥ සංගමය සමඟ කළ ඉල්ලීමට අනුව නව අධිකරණ සංකීර්ණය කඩිනමින් ස්ථාපිත කිරීමටත්, එහි යාබදව නීතිඥවරුන්ට කාර්යාල සංකීර්ණයක් ලබාදීමටත් හැකිවීම මහත් සතුටට කරුණක් බව කීය.

1939 වසරේ ඉදිකළ අධිකරණ සංකීර්ණයක් තමයි ගම්පොළට තිබෙන්නේ. ඒකේ පහසුකම් ඉතාමත් අවමයි. ඒ නිසා අප විශේෂ ඉල්ලීමක් කළා. නව අධිකරණ සංකීර්ණයක් ලබාදෙන්න කියා. මෙය කාලයක් තිස්සේ කළ ඉල්ලීමක්. ඒ සඳහා භූමි භාගයක් තිබුණේ නැහැ. එවකට හිටපු අගමැති දි.මූ. ජයරත්න මහතාගේ මඟපෙන්වීමත් අනුරාධ ජයරත්න මහතාගේ මැදිහත්වීමත් සමඟ 2013 වසරේදී දැනට අධිකරණ සංකීර්ණය ඉදිවන භූමිය අත්පත් කරගෙන තිබෙන්නේ. ඒ වගේම 2016 මුල්ගල තැබීමක් සිදුවුණත් නීතිඥ කාර්යාල සඳහා එහි ස්ථානයක් තිබුණේ නැහැ. අනුරාධ ජයරත්න මහතා සමඟ කළ සාකච්ඡා මත තමයි අධිකරණ සංකීර්ණයට යාබදව නීතිඥ කාර්යාල ලබාදෙන්න කටයුතු කළේ. එම කාර්යාල සංකීර්ණය ඉදිකිරීමට අධිකරණ ඇමැතිවරයාගේ සහභාගිත්වයෙන් 2021 පෙරවාරි 02 මුල්ගල තැබුවා. කාර්යාල 64 ක් සකස් කරන්න යෝජනා වී තිබෙනවා. එම ස්ථානය ලබාදීම සම්බන්ධව රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න මහතාට අපගේ ස්තූතිය පිරිනමනවායැයි ගම්පොළ නීතිඥ සංගමයේ සභාපතිනි හිමාලි දෙහිගලගේ මහත්මිය පැවසූවාය.නීතිඥයකු ලෙස නව අධිකරණ සංකීර්ණයේ වැදගත් බව ප්‍රායෝගිකව අවබෝධ වුණේ මහනුවර සහ ගලගෙදර නව අධිකරණ සංකීර්ණවල වැඩ කිරීමෙන්. අධිකරණ ශාලා නිහඩ වුවත් අධිකරණ පද්ධතියේ සේවයේ යෙදෙන විනිසුරුවරුන්, නීතිඥවරුන්, කාර්ය මණ්ඩලය සහ ජනතාව අභ්‍යන්තරව කලබලකාරී මානසිකත්වයකින් තමයි සිටින්නේ. ඒ නිසා මූලිකව ඔවුන්ට ලබාදෙන පහසුකම් සහ මානසිකව සහනශීලී වටපිටාවක් වැදගත් වෙනවායැයි නීතිඥ සුපුන් රාජපක්ෂ මහතා පැවසීය. වර්ධනය වන නඩු ප්‍රමාණය සහ සහභාගි වන මහජන සංඛ්‍යාව නිසා අධිකරණ ශාලා මෙන්ම එහි පහසුකම් වල ප්‍රමාණවත් වර්ධනයක් විය යුතුයැයි ද හෙතෙම කියා සිටියේය. එසේම අධිකරණ සංකීර්ණයට යාබදව ඉදිවන නීතිඥ කාර්යාල සංකීර්ණය ද නීතිඥවරුන් ලෙස අපගේ වෘත්තීය ගෞරවනීය ලෙස පවත්වාගෙන යන්න මහෝපකාරී වෙනවා. ඒ සඳහා ශක්තිය දුන් රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න මහතාට අපගේ ස්තූතිය පුදකර සිටිනවායැයි ද රාජපක්ෂ මහතා කීය.

නව අදහස දක්වන්න