බඩ ඉරිඟු වගාවට දුන් ඉඩම් අයිති මහවැලියටයි - නීතිපති | දිනමිණ

බඩ ඉරිඟු වගාවට දුන් ඉඩම් අයිති මහවැලියටයි - නීතිපති

නෙල්කා මැදගෙදර

මහියංගනය රඹකැන් ඔය ආශ්‍රිතව බඩ ඉරිඟු වගා කිරීම සඳහා දී ඇත්තේ මහවැලි සංවර්ධන අධිකාරියට අයත් භූමි ප්‍රදේශයක් බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (05) දන්වා සිටියේය.

ඒ සම්බන්ධ ඔප්පු ඇතුළු ලියකියවිලි ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරන බවද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා පැවසීය.

රඹකැන් ඔය ආශ්‍රිත වනාන්තරයේ ඇති සිය පාරම්පරික නිජ භූමියට අයත් අක්කර පන් දහසකට අධික ඉඩම් ප්‍රමාණයක් මහවැලි සංවර්ධන අධිකාරියට පවරාගෙන බඩ ඉරිඟු වගා කිරීම සඳහා මහා පරිමාණ පෞද්ගලික සමාගම්වලට දීම බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ ඇතුළු තිදෙනකු ගොනු කළ රිට් පෙත්සම කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මේ බව කීය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මායාදුන්නේ කොරයා යන මහත්වරුන් හමුවේ මේ පෙත්සම් කැඳවනු ලැබිණි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ දැනට ලැබී ඇති තොරතුරු අනුව සිද්ධියට අදාළ භූමි ප්‍රදේශය මහවැලි සංවර්ධන අධිකාරියට අයිති බවය. ඒ සම්බන්ධයෙන් ලියකියවිලි ඉදිරි පත් කළ හැකි බවද ඒ මහතා සඳහන් කළේය.

පෙත්සමේ 6වැනි වගඋත්තරකාර ආර්. ඒ. එන්. ප්ලාන්ටේෂන් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පුලස්ති ⁣රූපසිංහ මහතා කියා සිටියේ මහවැලි සංවර්ධන අධිකාරියට අයත් අක්කර 50ක් පමණක් එළි පෙහෙළි කොට අදාළ ව්‍යාපෘතිය සඳහා ගෙන ඇතත් පෙත්සම්කරුවන් කියනා පරිදි වන රක්ෂිතයකට හා වන ජීවින්⁣⁣ට හානියක් වී නැති බවය.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මේ භූමියේ කිසිදු කටයුත්තක් නොකරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් කරන ලෙසය.

ඊට පිළිතුරු දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා දැනට මේ භූමියේ කිසිදු කටයුත්තක් සිදු නොවන බව සඳහන් කළේය.

නව අදහස දක්වන්න