වසංගතය සමඟ පැමිණි කල් ඉකුත් වූ ගැටලු | දිනමිණ

වසංගතය සමඟ පැමිණි කල් ඉකුත් වූ ගැටලු

කාංචනා අමිලානි

සාරා ෂ්‍ටුටින් සතුව ශාස්ත්‍රපති උපාධි දෙකකි. ඉන් එකක් ව්‍යාපාර පරිපාලනය පිළිබඳය. ඒ කොලොම්බියානු සරසවියෙනි. ඈ වෘත්තියෙන් සෞඛ්‍ය සේවා උපදේශිකාවකි. පසුගිය වසරේ කොරෝනා වසංගතය පැමිණ සැමගේ ජීවිත උඩුයටිකුරු කළ පසු සාරාට තම රැකියාවට සමුදීමට සිදු විය. ඇගේ සැමියාගේ රැකියාව වඩාත් සුනම්‍ය කාල රාමුවල තිබීමත්, ඔහුගේ මාසික වේතනය සාරාගේ වේතනයට වඩා ඉහළ වීමත් යන කාරණා ද්විත්වය මේ සාමූහික තීරණයට බලපෑවේය. සාරා දිගටම රැකියාවට යාමට තීරණය කළහොත් ඈට තම රාජකාරි වේලාවෙන් හරි අඩක් නිවාඩු දමා නිවෙසේ රැඳිමට සිදුවීම අනිවාර්ය විය. එය කළ නොහැක්කක් හෙයින් ඈ තම ‍රැකියාවට සමුදීමට තීරණය කළේය. ඔවුන්ගේ දරු දෙදෙනා වයස 06ට අඩු අතර වසංගත තත්ත්වය හේතුවෙන් නිවෙසේ සිට අධ්‍යාපන කටයුතු කරගෙන යනු ලැබීය.

පළමුව කිසි අපහසුතාවයකින් තොරව දරු දෙදෙනාගේ ක්‍රියාකාරකම් හසුරුවා ගැනීමට ඈට හැකි විය. එළිමහනේ ක්‍රීඩා කිරීමට ඔවුන්ට වැඩි කාලයක් ලැබුණු අතර ඒ ගෙවුණු මුල් කාලය අතිශය ප්‍රීතිමත් එකකි. එහෙත් පෙබරවාරි මාසය වන විට සාරාගේ පාර්ශ්වයෙන් මේ අතිශය ප්‍රීතිය මදින් මද ක්ෂය වී යන්නට පටන් ගති. "මම හිතුවෙ නෑ ලොක් ඩවුන් කාලය මේ තරම් දිග වෙයි කියලා. දැන් නම් මම සම්පූර්ණයෙන්ම හෙම්බත්වෙලයි ඉන්නේ."

කොරෝනා වසංගත කාලයේ මෙවන් කතාන්දරයක් ඇසීම මේ වන විට අතිශය සාමාන්‍යය. කොටින්ම සාරා කියන මේ කතාන්දරය දැන් කල් ඉකුත් වූ ගැටලුවකි. ලොව පුරා සිටින මවුවරු මිලියනයකට ආසන්න ප්‍රමාණයක් වසංගතයේ මුල් කාර්තුවේදීම ස්වකීය රැකියා හැරපියා නිවසේ නතර වී ඇත. ඊට අමතරව තවත් මව්වරු බහුතරයකට තමන්ගේ රැකියා වේලාවෙන් සැලකිය යුතු පැය ගණනක් දරුවන් බලා ගැනීමට කැප කරන්නට සිදුව ඇත. රැකියාවැති මව්වරුන් සම්බන්ධයෙන් වසංගත තත්ත්වය නිමැවූයේ තෙරක් නොමැති ගැටලු කන්දරාවකි. දිවා සුරැකුම් මධ්‍යස්ථාන ආදිය වසා දැමීම, පාසල් වසා දැමීම හේතුවෙන් රැකියාවට පිටත්ව නැවත නිවෙසට පැමිණෙන කාලය අතරතුර දරුවන් රැකබලා ගැනීමට ක්‍රමයක් නැති වීම ලෝකය පුරා අලුතින් මතුව ආ ගැටලුවකි. ඒ සඳහා විසඳුම්ද අලුතින්ම සොයාගත යුතු විය.

ඇමරිකානු කම්කරු දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව වසංගත තත්ත්වය ඇතිවීමත් සමඟ රැකියා කළ කාන්තාවන්ගේ ප්‍රතිශතය 56%ක් තෙක් පහළ බැස ඇත. මේ ප්‍රතිශතය 2020 වසරේදී 58%කි. මේ හේතු නිසාම කාන්තාවන් සම්බන්ධයෙන් රැකියා ස්ථානවල ඇති පොදු නීති රාශියක් ලිහිල් කිරීමට පවා කටයුතු කර ඇති බව සමාජ විද්‍යාඥවරියක වන ජූලී කෝලර් පවසා ඇත. "මේ ගැන දිගින් දිගටම හිතනකොට පෙනුණෙ අවුරුදු 30ක් පුරාම ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙමින් තිබ්බ කාන්තා ව්‍යවසායකත්වය අවුරුද්දකට අඩු කාලෙකින් අඩු වෙලා ගිහිල්ලා කියලයි."

80 දශකය සලකා බලන විට පුරුෂයන් හා සාපේක්ෂව කාන්තාවන් රැකියාවල නිරතව ඇත්තේ අඩු ප්‍රතිශතයකිනි. අදට වඩා දෙගුණයක් වැඩ කිරීමට 60 දශකයේදී විවාහක පුරුෂයන්ට සිදුව ඇත. විවාහක පුරුෂයන්ට සාපේක්ෂව කාන්තාවන් දෙගුණයක් පමණ නිවෙසේ වැඩවල නිරතව සිට ඇත. එහෙත් 80 දශකයෙන් පසුව මේ තත්ත්වය ක්‍රමිකව වෙනස්වීමට භාජනය වී ඇත. පසුගිය වසර 15 පුරාම ඇති වූ වෙනස්කම් සලකා බලන විට නිවෙසට අවශ්‍ය ආහාරපාන රැගෙන ඒම, රෙදි සේදීම, ඉවුම්-පිහුම් කිරීම, භාජන සේදීම සහ නිවෙස ශුද්ධ පවිත්‍ර කිරීම ආදී වගකීම් කාන්තාවන්ට පැවරීමේ ප්‍රවණතාව වෙනස්ව ඇත. සමාජ විද්‍යාඥයන්, මනෝ විද්‍යඥයන්ට අනුව නිවෙසක වැඩ කටයුතු සිදු කිරීමේ ක්‍රියා පටිපාටිය බෙදෙන ආකාරය දරුවන්ගේ වර්ධනයට වැඩි බලපෑමක් සිදු කරනු ලබයි. දරුවන්ගේ අනාගත ජීවිත හැඩගස්වා ගැනීමට මෙමඟින් ඔවුන්ට අවිඥාණිකව ලැබෙන අනුබලය සුළුවෙන් තැකිය යුතු නැති බවත් ඔවුන් තව දුරටත් පවසයි.

මේ සියලු ක්‍රමික සමාජ විකාශන අතර හදිසියේ කඩා වැදී වසංගතය සියල්ල අවුල් කර දැමීමට සමත් වී ඇතැයි විශේෂඥයෝ පවසති. වසර 30ට ආසන්න කාලයක් මුළුල්ලේ තිබූ සමාජ තත්ත්වය සහ සමානාත්මතාව අර්බුදයකට පත්ව ඇතැයි ඔවුන් ඉඟි කරයි. සියලු අනාගතවාදී දර්ශන නැවත ආපස්සට කැරකැවෙතැයි ඔවුන් බිය පළ කර ඇත. නිවෙසේ කටයුතු සිදු කිරීමේ සාමාන්‍ය පිළිවෙත් උඩු යටිකුරු වීමෙන් දරුවන්ගේ මානසික සෞඛ්‍ය කෙරෙහි ද යම් බලපෑමක් සිදු කරනු ඇති බවට මේ විශේෂඥයෝ පවසා ඇත. වසංගත තත්ත්වය හේතුවන් මවුපියන් ගනු ලැබූ තීරණ විසින් දරුවන්ට ඇති කළ හැකි ධනාත්මක බලපෑම අල්ප වනු ඇතැයි පැවැසේ.

මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක වන මාර්ටි හැස්ල්ටන්ට අනුව පියා මත යැපෙන මවුවරුන් දකින දරුවන්ගේ ආකල්ප බොහෝ විට සාම්ප්‍රදායික වීමට ඉඩ තිබේ. මව නිවෙසේ වැඩකටයුතු බලා කියා ගනිමින් දරුවන් උස් මහත් කිරීමත්, පියා ‍රැකියාවට පිටත්ව යාමත් යන සංසිද්ධිය දකිමින් උස්මහත් වන දරුවන්ගේ අනාගත ජීවිත පැවැත්මට එය හිතනවාටත් වඩා බලපානු ලබයි. ‍රැකියාවට නිවෙසින් පිටව කාලය ගත කළ මවුවරුන්ට සාපේක්ෂව ‍රැකියාවක නිරත නොවී නිවෙසේ ‍රැඳුණු මවුවරුන්ගේ දරුවන් නිවෙසේ වැඩ කටයුතු කිරීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබේ. මේ පවුල්වල පිරිමි දරුවන්ගේ තත්ත්වය ද මේ අකාරමය.

එහෙත් පසුගිය තිස් වසර පුරා මේ ක්‍රියාදාමය වෙනස් අතකට හැරුණි. කාන්තාවන් ‍රැකියා කිරීමේ ප්‍රවණතාව වැඩි වීමත් සමඟ පුරුෂයන්ට වඩා වැඩි වේතන ලැබීම ආදී කරුණු වෙතින් සාම්ප්‍රදායික පසුබිම වෙනස් කරනු ලැබීය. පවුල තුළ ස්ත්‍රීය සහ පුරුෂයා කරනු ලබන කටයුතුවල පැහැදිලි බෙදීම් රේඛා නොතිබුණි. මීට සමගාමීව දරුවන් තුළ ද වෙනස්කම් දැකගත හැකි විය. මේ මවුවරුන්ගේ දියණියන් සමාජයේ කැපී පෙනෙන ‍රැකියා කිරීමටත්, සමාජ ක්‍රියාකාරිණියන් ලෙස හැසිරීමේ ප්‍රවණතාවයක් ඇති බව හාවර්ඩ් සරසවිය විසින් කළ සමීක්ෂණයකින් අනාවරණය විය.

මේ පසුබිම කොරෝනා වසංගතය විසින් වෙනස් කිරීමත් සමඟ සමාජය තුළ ස්ථාපිතව පැවැති නව ජීවන රටාව නොසිතූ ලෙස බිඳ වැ‍ටුණි. එය තව දුරටත් නොවෙනස්ව පැවතියහොත් අනාගත දරු පරපුරට එහි අනිසි බලපෑම අත්විඳීමට සිදුවනු ඇත. විශේෂඥයන් වඩාත් සැලකිලිමත් වන්නේ ඒ කාරණය සම්බන්ධයෙනි. අනාගතයේදී දරුවන්ට සමානාත්මතාවය පිළිබඳ වැ‍රැදි අදහසක් සම්ප්‍රේශණය වීමේ ඉඩකඩ වැඩිවීම වඩාත් අවාසනාවන්තය.

"මේවා අම්මා කරන වැඩ, මේවා තාත්තා කරන වැඩ." යනුවෙන් දරුවන් කීමට පුරුදු වීමේ සම්භාවිතාව වැඩි වුවහොත් ඒ සම්බන්ධයෙන් ගත යුතු තීරණය සමාජය සතු වනු ඇත. කොරෝනා වසංගතය ඒ සියල්ලට වගකිව යුතුය.

අතොරක් පවුල්වල මව ‍රැකියාවට පිටත්ව යන විට පියා දරුවන් බලා කියාගෙන නිවෙසේ සිටින වාතාවරණද නැත්තේ නොවේ. එවන් පසුබිමක් දරුවන්ගේ සිතීමේ රටාවේ නොසිතන වෙනසක් ද ඇති කරවන බව තව දුරටත් පැවසේ. එසේම හදිසියේම ‍රැකියා අතැර නිවෙසේ වැඩකටයුතුවලට සිරවූ මවුවරුන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳ මීට වඩා විශාල සැලකිල්ලක් දැක්විය යුතුය. එය ද හදිසි අවස්ථාවක් සේ සලකා කටයුතු කළ යුතුය. පියවරුන් සම්බන්ධයෙන් ද ඒ තත්ත්වයේ වෙනසක් නැත. සරලව කිවහොත් වසංගත තත්ත්වය විසින් අප කලින් දැන සිටි ලෝකය කඩා දමා අලුත් ලෝකයක් නිමවා ඇත. ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශ්වයේම වැඩ කටයුතු පෙර පැවැති ආකාරයෙන් වෙනස්ව ඇත. ඒවා අත්දකින දරුවන්ගේ ජීවන රටාවේද සැලකිය යුතු වෙනසක් සිදු කර ඇත. දැන් අපේ මුවවිටට පැමිණ තිබෙන ගැටලුව වන්නේ අප කුමක් කළ යුතුද යන්නයි. එහෙත් කුමක් කළ යුතුද යන්න සම්බන්ධයෙන් කිසිවකුට නිශ්චිත අදහසක් නොමැති වීම ද තව අලුත් ගැටලුවක්. ගැටලුවක් විසඳීමට යන තැන අලුත් ගැටලුවක් නිර්මාණය වීමේ උභ‍තෝකෝටිකයට දැන් අප මුහුණ දිය යුතුය.

නැෂනල් ජියොග්‍රැ‍ෆික් ඇසුරෙනි

නව අදහස දක්වන්න