පෝක් සමුද්‍ර සන්ධිය තරණය කරමින් රොෂාන් අබේසුන්දරගෙන් ආසියානු වාර්තාවක් | දිනමිණ

පෝක් සමුද්‍ර සන්ධිය තරණය කරමින් රොෂාන් අබේසුන්දරගෙන් ආසියානු වාර්තාවක්

තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුස්්කොඩි දක්වා පිහිනමින් නව ආසියානු වාර්තාවක් පිහිටු වීමට ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර සමත් වෙයි.

පෙරේදා (10) අලුයම 2.00ට පමණ තලෙයිමන්නාරමෙන් පිහිනීම ඇරඹු 32 හැවිරිදි රොෂාන් ධනුෂ්කොඩි වෙත ගොස් ඊයේ පෙරවරු 7.00ට පමණ යළි තලෙයිමන්නාරමට ළඟා විය. මේ සඳහා තරණය කළ යුතු සමස්ත දුර ප්‍රමාණය වූ කිලෝමීටර් 59.3 පිහිනීම සඳහා රොෂාන්ට පැය 28 මිනිත්තු 19 තත්පර 43ක කාලයක් ගත විය.

මින් පෙර එම දස්කම පෙන්වා ඇත්තේ ශ්‍රී ලාංකික පිහිනුම්කරුවකු වන කුමාර් ආනන්දන් විසිනි. 1971 වසරේ එම වාර්තා පිහිටුවීමට කුමාර්ට පැය 51ක කාලයක් ගත වී තිබිණි. මෙහිදී රොෂාන් තලෙයිමන්නාරමේ සිට ධනුස්්කොඩි දක්වා යෑමට පැය 10 මිනිත්තු 31ක කාලයක් ගත කළ අතර, එය ද නව ශ්‍රී ලංකා වාර්තාවක් බවට පත් විය.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ පූර්ණ සහයෝගය හා මඟ පෙන්වීම යටතේ මේ කාර්යයට එක් වූ රොෂාන්ගේ පුහුණුකරු ලෙස පිහිනුම් උපදේශක ආචාර්ය කේ. ඩබ්ලිව් යසරත්න මහතා කටයුතු කරයි.

මාතර මධ්‍ය මහ විද්‍යාලයේ ආදි සිසුවකු වන රොෂාන් පැවසුවේ මේ වාර්තාව තැබීමේ මූලික අරමුණ සාගරය පරිසරය රැක ගැනීමේ පණිවිඩය ලෝකයට රැගෙන යෑම බවයි.

සාගරයට පොලිතින් සහ ප්ලාස්ටික් දමන්න එපා යැයි ලෝකවාසීන්ට පිණිවිඩයක් දීම ඉන් බලාපොරොත්තු වන බවත්, පොක් සමුද්‍ර සන්ධිය තරණය කිරීමට පැය 35කට ආසන්න කාලයක් ගත වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් තලෙයිමන්නාරමෙන් පිහිනීම ආරම්භ කිරීමට පෙර රොෂාන් පැවසීය.

මේ වාර්තාව පිහිටුවීමට පසුගිය කාලයේ දකුණු මුහුදු තීරයේදී පුහුණු තරග රැසකට එක් වූ රොෂාන් එහිදී කිලෝමීටර් 48ක දුරක් මුහුදු පිහිනුම් පැය 23කින් නිම කරමින් ජාතික වාර්තාවක් පිහිටුවීමට ද සමත් විය.

එහි මූලික අඩිතාලම දමමින් මාතර සිට මිදිගමට කිලෝමීටර් පහළොවක් පිහිනා ගොස් නව ශ්‍රී ලංකා වාර්තාවක් තැබූ ඔහු අනතුරුව මාතර සිට කොග්ගලට පිහිනා එම (කි.මී. 25) වාර්තාව යළි අලුත් කළේය.

අනතුරුව මාතර සිට ගාල්ල දඩල්ලටත් දඩල්ලේ සිට නැවත උණවටුනටත් කිලෝමීටර් 48ක් පිහිනා නව ජාතික වාර්තාවක් බිහි කළේය. ඒ සඳහා ඔහු පය 23ක කාලයක් ගත කර තිබිණි.

මින් පෙර පසුගිය මස 26-27 දෙදින පොක් සමුද්‍ර සන්ධිය තරණය කරමින් වාර්තාව පිහිටුවීමට රොෂාන් උත්සාහ කළ ද අන්තර්ජාතික මට්ටමෙන් ඇති කර ගත් එකඟතාවලට අවශ්‍ය ලිපි ලේඛනවල අඩුවක් හේතුවෙන් ඔහුට එවර එම අවස්ථාව අහිමි වී ගියේය.

 

නිරෝෂාන් ප්‍රියංකර

නව අදහස දක්වන්න