ශානිගේ ඇප පෙත්සම මැයි 13 දා විභාගයට | දිනමිණ

ශානිගේ ඇප පෙත්සම මැයි 13 දා විභාගයට

නෙල්කා මැදගෙදර

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුවකට අදාළව බොරු සාක්ෂි සෑදූ බවට සැක පිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම ලබන මැයි මස 13 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ඊයේ (29) තීරණය කළේය.

එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමද එදින සලකා බැලීමට නියම විය.

පෙත්සම් සම්බන්ධ විරෝධතා මැයි මස 4වැනිදා හෝ ඊට පෙර ගොනු කරන ලෙස නියම කෙරිණ. එම ප්‍රතිශෝධන පෙත්සම් කැඳවූ අවස්ථාවේදී නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසින්හ යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මේ නියෝගයන් කරන ලදි.

පෙත්සම් කැඳවූ අවස්ථාවේදී ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විරාන් කොරයා මහතා සඳහන් කළේ මේ වන විට සිය සේවා දායකයා දිගින් දිගටම බන්ධනාගාරගත කර සිටින බවය. රෝගාබාධ කිහිපයකින්ම පෙළෙන ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බවද නීතිඥවරයා සඳහන් කළේය.

සෞඛ්‍ය හේතු මත ශානි අබේසේකර මහතාගේ ජීවිතය තර්ජනයකට ලක්ව ඇති බවද ඒ මහතා කීය.

එබැවින් තව දුරටත් කල් දැමීමකින් තොරව පෙත්සම විභාගයට ගන්නා ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව පෙත්සම් ලබන මැයි මස 13 වැනිදා කැඳවීමට නියම කෙරිණ.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනු කර තිබූ නඩුවකට අදාළව අසත්‍ය සාක්ෂි නිර්මාණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ශානි අබේසේකර සහ සුගත් මෙන්ඩිස් යන මහත්වරුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

තමන්ව ඇප මත මුදා හරින මෙන් ඉල්ලා එම සැකකරුවන් විසින් ගම්පහ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි.

නව අදහස දක්වන්න