එදා ස්පාඤ්ඤ උණ මෙදා කොරෝනා | දිනමිණ

එදා ස්පාඤ්ඤ උණ මෙදා කොරෝනා

කොවිඩ් 19 වසංගතයට බෙහෙවින්ම සමාන රෝග ලක්ෂණ පෙන්වන වසංගත රෝගයක් සියවසකට ඉහතදී ද ලොව පුරා පැතිර ගියේය. ‍වයිරසයක් යනු කුමක් දැයි මේ කාලයේදී හඳුනාගෙන නොතිබුණි. ඉන්ෆුලුවැන්සා රෝගයේ ලක්ෂණ පෙන්වන මෙම වසංගත රෝගයට අදින් සියවසකට පෙර ජීවත් වූ ජනතාව ද මුහුණ දුන්නේ අප මෙදා කොරෝනාවෙදි අනුගමනය කරන සෞඛ්‍ය පුරුදුම අනුගමනය කරමිනි.

ස්පාඤ්ඤ උණ වශයෙන් සිංහලට පරිවර්තනය වන එම රෝගී තත්ත්වය ලොව පුරා ප්‍රචලිත වූයේ ස්පැනිෂ් ෆ්ලූ (Spanish Flu) නමිනි. ස්පාඤ්ඤ උණ රෝගය කොරෝනාවට බෙහෙවින්ම සමාන රෝග ලක්ෂණ පෙන් වූ අතර, පැතිරයෑමේ ස්වභාවය ද සමාන ස්වරූපයක් ගත්තේය.

නිශ්චිත වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් රෝගය සඳහා සොයා නොගැනුණු අතර 1918 – 1921 අතර කාලයේදී මිලියන 500කට ආසන්න ජනතාව රෝගයට ගොදුරු වූ බවත් මිලියන 20ත් 50ත් අතර සංඛ්‍යාවක් රෝගයෙන් මියගිය බවත් විශ්වාස කෙරේ.

පළමුවන රැල්ල

රෝගය පළමු වරට වාර්තාවීමේදී හෙවත් පළමු රැල්ලේදී ‍බොහෝදෙනා සීඝ්‍රයෙන් පැතිරි ගිය තද උණ සෙම්ප්‍රතිශ්‍යා හා කැස්ස තත්ත්වයකට ගොදුරු වූහ. කිහිපදෙනෙක් පමණක් රෝග තත්ත්ව උත්සන්න වී මිය ගියහ. පළමු රැල්ලේදි කිසිවකු මේ රෝගය එතරම් බරපතළ ලෙස නොතැකූ අතර මිය ගිය අයගේ මරණවලට හේතුව සෙම නරක් වී ඇති වූ නිව්මෝනියා තත්ත්වයක් ලෙස පිළිගැනිණි.

ස්පාඤ්ඤ උණට ගොදුරු වූ මුල්ම රෝගියා ලෙස වාර්තා වන්නේ අමෙරිකාවේ කන්සාස් ප්‍රාන්තයේ හමුදා කඳවුරක සේවය කළ ඇල්බට් ගිමෙල් නමැති කෝකියෙකි. ඔහු රෝහල්ගත කිරී‍මත් සමඟම 54000ක භට ඛණ්ඩයක් සිටි කඳවුරේ මාසයක් තුළදී 1100ක් සමාන රෝග ලක්ෂණ පෙන්වන්නට පටන්ගත්හ. සෙම්ප්‍රතිශ්‍යා උණ උත්සන්නවීමෙන් කඳවුරේ සෙබළු 38ක් මිය ගියහ.

පළමු ‍ලෝක යුද සමයේදී යුරෝපයේ ඇරැඹුණු ස්පාඤ්ඤ උණ රෝගය ලොව පුරා පැතිරුණේ අමෙරිකානු හා තවත් රටවල සොල්දාදුවන්ගේ සංචරණ හේතුවෙන් බව පිළිගැනේ.

1918 අප්‍රේල් හා මැයි මාස වෙද්දී එංගලන්තය, ප්‍රංශය, ස්පාඤ්ඤය හා ඉතාලියේ ලැව්ගිනි සේ රෝගයේ පළමු රැල්ල පැතිරී තිබුණි. ප්‍රංශ හමුදාවේ 3/4, බ්‍රිතාන්‍යය හමුදාවේ 1/2ක්, රෝගයට ගොදුරු වූහ. ෆැරන්හයිඩ් අංශක 104 දක්වා ඉහළ යන උණ, හොටු හා කැස්ස තත්ත්වය දින තුනක් පැවැති අතර, රෝගීහු මෙම පළමු රැල්ලේදි සාමාන්‍යය උණ මෙන් සුවපත් වූහ. මිය ගියේ ඉතා සුළු පිරිසකි.

මේ කාලයේදී මුළු යුරෝපයම පාහේ පළමු ලෝක යුද්ධයේ හවුල්කාරයන්ව සිටි අතර, පුවත්පත්වලට ද වාරණ පැනවී තිබුණි. හමුදාවේ චිත්ත ධෛර්යය පිරිහෙන මෙන්ම යුද්ධයට බාධක විය හැකි හා යුද විරෝධී පුවත් පළ කිරීම පුවත්පත්වලට තහනම් විය. පුවත්පත් වාරණය ඉතා තදින් ක්‍රියාත්මක විය. හමුදා සෙබළුන් අතර වසංගත උණක් පැතිරී යන බව යුද්ධයට සම්බන්ධ කිසිම රටක පුවත්පත්වල මේ නිසා පළ නොවීය. කෙසේ නමුත් පළමු ලෝක යුද්ධයට සක්‍රීයව සම්බන්ධ නොවූ ස්පාඤ්ඤයේ කිසිම පුවත්පත් වාරණයක් මේ අනුව ක්‍රියාත්මක නොවූ අතර, එරට පුවත්පත් හිතේ හැටියට නිදහසේ මේ අමුතු උණ රෝගයට ගැන වාර්තා කළේය.යුදකාමීහු රෝගයට ස්පාඤ්ඤ ‍උණ යන නම පටබැන්දහ. රෝගය ස්පාඤ්ඥ උණ ලෙස ප්‍රචලිත විය.

1918 ගිම්හානය උදා වෙද්දී ඇරැඹී ලැව් ගිනි සේ පැතිර ගිය ස්පාඤ්ඥ උණ රෝගීන් පිළිබඳ වසන්තය ඇරැඹීමත් සමඟ (මාර්තු - අප්‍රේල් මාසවල) වාර්තා වීම පහත වැටුණේය. ලැබුණේ සුළු විරාම කාලයකි.

දෙවන රැල්ල

ශීත ඍතුව වෙද්දී උණ මාරයා යළි කුපිතව පැමිණියේය. ඉතාම හොඳ නිරෝගී සම්පන්න පුද්ගලයකු පවා රෝග ලක්ෂණ පෙන්වා පැය 24ක් තුළ මරා දැමීමට තරම් මෙවර උණ මාරයා බිහිසුණු විය. ස්පාඤ්ඤ උණ මාරයා යළි ආක්‍රමණශීලීව පැතිර ගියේය.

බ්‍රිතාන්‍යයේ ප්ලයිමවුත් වරායේ සිට සොල්දාදුවන් රැ‍ගත් නැව් යුද්ධයට සම්බන්ධ වීමට පිටත් වූහ. ප්‍රංශයේ බ්‍රෙස්ටි , අමෙරිකාවේ බොස්ටන් නුවර අමෙරිකාවේ ෆීටවුන් ආදි ප්‍රදේශවල රෝගය තදින්ම පැතිරෙන්නට පටන් ගත්තේය. ස්පාඤ්ඤ උණේ දෙවැනි රැල්ල ලෙස මේ තත්ත්වය හැඳින්වුණි. පළමු රැල්ලේදී කුඩා ළමයින් හා වයෝවෘද්ධ පුද්ගලයන් මිය ගිය අතර, දෙවන රැල්ලේදී නිරෝගී ශක්තිමත් (25-55) යොවුන් හා ගැටවර වියේ පසුවූවෝ ද ලක්ෂ ගණනින් ලොව පුරා මිය ගියහ.

නිරෝධායන හා හුදකලා කිරීම් සිදු නොකිරීම රෝගය පැතිරීමට හේතුවන බව වෛද්‍යවරු දැක්වූහ. එහෙත් එසේ සිදු කිරීම යුද්ධයට බාධාවක් ලෙස පිළිගැනුණු අතර, හුදකලා කිරීම් සිදු කිරීමට බලධාරීහු පසු බෑහ. මහා බ්‍රිතාන්‍යයේ ඉහළම පරිපාලන නිලයක් දැරූ ආතර් නිවුස් හොම් (Arthur Newsholme) දැඩි හුදකලා කිරීම හෙවත් ලොක්ඩවුන් අනුගමනය කළ යුතු බව එකහෙළාම පිළිගත් අතර, එහෙත් යුද්ධයට හානිදායක විය හැකි දේ කිරීමට ඔහු පසුබෑවේය. අමෙරිකාවේ හෙදියන්ගේ හිඟයක් ඇති විය. බොහෝ හෙද හෙදියන් හමුදා කඳවුරුවල සේවයට අනුයුක්ත කෙරුණි. මේ අතර, අමෙරිකා - අප්‍රිකා සම්භවයක් අැති පුද්ගලයන් හෙද සේවයට පුහුණු කිරීමට ගෙනා යෝජනාවට අමෙරිකා රතු කුරුස සංවිධානය පිටුපෑහ.

වෛද්‍යවරු අසරණ වූහ. රෝගයට පිළිසරණක් හෝ ප්‍රතිකර්මයක් නොවුණි. මිනිස්සු බොහෝ විකල්ප ක්‍රම සෙවූහ. නාස් හා මුඛාවරණ පැලඳීම බෙහෙවින්ම ප්‍රචලිත වී තිබුණි. සියලු දෙනාම පාහේ මුඛ හා නාස් අාවරණ භාවිතා කළහ. සමහර මවුපියෝ රෝගයෙන් බේරීමට සිතා සිය දරුවන්ගේ ගෙලේ කපුරු මාල පැලඳවූහ. දොඩම් වැනි පලතුරු භාවිතයට අනුබල ලැබුණි. ලුණු දියරෙන් උගුර සේදීම ප්‍රචලිත විය. සමහරු විෂබීජ නාශක ගුණය ඇති බව සිතිය හැකි විවිධ දියර ජාති සාදා මහමඟ ඉස්සහ. සමහර රටවල් එම රෝගය බෝවීම වැළැක්වීමට ජනතාව අතර සලාක ක්‍රමයට දොඩම් බෙදා හැරියේය. තැපෑලේ වැඩ නැවැතුණි. පාසල් වැසුණි. කඩසාප්පු වැසුණි. ප්‍රසිද්ධ ස්ථානවල කෙළ ගැසීම් තහනම් විය. අත්‍යාවශ්‍ය සේවකයන් සේවයට කැඳවුණු අතර, බොහෝදෙනා නිවෙස්වලටම වී සිටියහ

රෝගීන් ඇසුරින් ඈත් වීම හෙවත් හුදකලා වීම හා පරිස්සම හැර වෙනත් ක්‍රමයක් රෝගයෙන් බේරීමට එදාත් නොතිබුණු අතර, මිනිස්සු ඖෂධ පසු පස හඹා නොයමින් රෝගයෙන් බේරීමට පරිස්සම් වූහ.

ස්පාඤ්ඤ උණේ දෙවැනි රැල්ල බිහිසුණු වීමට හේතුව ලෙස සැලකුණේ දෙවැනි රැල්ල ශීත සමයේදී හට ගැනීමයි. මිනිස්සු වැඩිපුර සිටියේ නිවෙස් තුළය. මේ කාලයට යුරෝපයේ නිවෙස්වල දොර ජනේල වසා තැබෙන අතර, හිරු එළිය හා වාතාශ්‍රය ලැබුණේ අඩුවෙනි. බොහෝදෙනා රෝගයට ගොදුරු වූයේත් රෝගය පැතිර ගියේත් මේ නිසා බව සැලැකේ. පළමු රැල්ල බිහිසුණු නොවූයේ ගිම්හානය නිසා ලැබුණු හොඳ වාතාශ්‍රය හා හිරු එළිය නිසා බවත් සිතති. ඉලෙක්ට්‍රෝනික මයික්‍රොස්කෝපය සොයාගෙන නොතිබුණු 1918දී වෛරස ගැන කිසිවකු දැන සිටියේ නැත. මියගිය අයගේ දේහයන් කපා බලද්දී පෙණහලු අක්මා හා වකුගඩුවල ඉදිමුම් වෛද්‍යවරු නිරීක්ෂණය කළහ. වෛද්‍යවරු සිතුවේ නිව්මෝනියා කාරක බැක්ටීරියාවක අමුතු හැසිරීමක් බවය.අමෙරිකාව හා යුරෝපයේ රටවල් රෝගය පිළිබඳ පර්යේෂණ සඳහා අති විශාල වශයෙන් මුදල් යෙදවූහ. ස්පාඤ්ඤ උණේ දෙවැනි රැල්ලේදි අමෙරිකාවේ ෆිලඩෙල්ෆියාවේ 1918 නොවැම්බරයේ පැවැති රැලියකට එක්වූ මහ පිරිසක් රෝගයට ගොදුරු වීම ඛේදනීයම අවස්ථාවක් ලෙස ඉතිහාස ගත වී ඇත. මේ සිද්ධියේදී සමහර දරුවන්ට මවුපිය දෙදෙනාම අහිමි විය.

1918 දෙසැම්බරය අවසන් වන විට මාරාන්තික දෙවන රැල්ල ක්‍රමයෙන් නිමා විය.

තුන්වන රැල්ල

වසරක්ම ගෙවී ගියේය. 1919 ජනවාරිය උදා විය. ‍ඕස්ට්‍රේලියාවේදී තුන්වැනි රැල්ල ඇරැඹුණේය. දෙවැනි රැල්ල මෙන්ම වේගයෙන් තුන්වන රැල්ල පැතිර ගියේය. පළමු ලෝක යුද්ධය අවසන් කිරීමේ සාම සම්මුතියට අස්සන් තැබීමට ප්‍රංශයේ පැරිස් නුවරට පැමිණි අමෙරිකානු ජනාධිපති වුඩ්රෝ විල්සන් ද තදින්ම ස්පාඤ්ඤ උණට ගොදුරු විය.අමෙරිකා රජය සිද්ධිය සැඟවූයේය. පසුව ජනාධිපතිවරයා සුවය ලැබීය. දෙවන රැල්ලේදී මෙන්ම විශාල පිරිසක් තුන්වන රැල්ලේදී ද මිය ගියේය.

හතරවන රැල්ල

ස්පාඤ්ඤ උණේ හතරවන රැල්ල වාර්තා වූයේ 1920 වසන්තයේදීය. එනම් මාර්තු මාසය වෙද්දීය. එහිදී රෝගයට ගොදුරු වූවෝ පළමු රැල්ලේදී මෙන් සාමාන්‍ය උණ හෙම්බිරිස්සා තත්ත්වයට ගොදුරුව සුවය ලැබූහ. කිහිපදෙනෙක් පමණක් මියගියහ. හතරවන රැල්ල බෙහෙවින්ම පළමු රැල්ල මෙන් විය. හතරවන රැල්ල එතරම් මාරක නොවී ක්‍රමයෙන් පහවිය. හතරවන රැල්ලේදි මිනිස්සු රෝගයට ඔරොත්තු දීමට ස්වභාවිකවම කායිකව ශක්තිමත් වී සිටි බවත් සෞඛ්‍ය පුරුදු තදින්ම අනුගමනය කළ බවත් මේ නිසා ස්පාඤ්ඥ උණ මාරයා පැරදවීමට හැකි වූ බවත් විශ්වාස කෙරේ.

රෝගය පිළිබද පුවත්පත්වල වාර්තවීම් ද නැවැතුණි. රෝගය පිළිබඳ මතකය හා කතාබහ නැවැතුණි.

ස්පාඤ්ඤ උණ පිළිබඳ සාමාන්‍ය මහජනතාව අතර යළි සීඝ්‍ර කතාබහ ඇරැඹෙන්නේ චීනයේ අරැඹුණු බව සැලකෙන කොවිඩ් -19 ‍ වසංගතයත් සමඟය. ස්පාඤ්ඤ උණ සෑදූ විෂ බීජය කුමක්ද ඊට අවසානයේ සිදු වූයේ කුමක් දැයි කිසිවෙක් අදත් නොදනිති. සමහර විට එම විෂ බීජය බෙලහීනව තවමත් ලොව සැරිසරනවා වෙන්නට බැරි ද නැත. කිසියම් සතුරු පාර්ශවයක් විසින් මේ විෂබීජය සිය සතුරු කඳවුරු වෙත මුදාහරින්නට ඇති බවට සැකයක් ඇතැම් ඉතිහාසඥයන් අතර අදටත් පවතී. රෝගය අරැඹුණේ අමෙරිකාවේ ද යුරෝපයේ ද කියා තවමත් නිශ්චිතව නොදනී.

සමන්මලී ජයතුංග

නව අදහස දක්වන්න