කොවිඩ් සැබෑ තොරතුරු ජනත­ාවට දෙන්නේ නෑ වසන්ත සමරසිංහ | දිනමිණ

කොවිඩ් සැබෑ තොරතුරු ජනත­ාවට දෙන්නේ නෑ වසන්ත සමරසිංහ

ආණ්ඩුව දැනට පවතින වසංගත තත්ත්වයේ සැබෑ තොරතුරු මහජනතාවට නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරකසභික, අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පසුගියදා ජවිපෙ ප්‍රධාන පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

හෙතෙම වැඩි දුරටත් මෙසේද කියා සිටියේය.

හෙට දවසේ වඩා යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා වැඩ කරන ජනතාව සංවිධාන කිරීමේ වඩාත් අභියෝගකාරී කාර්යභාරය මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය ලෙස අප භාරගෙන තිබෙනවා. මේ රටේ ආණ්ඩුව වැඩ කරන පන්තිය ප්‍රමුඛව ජනතාවම අනතුරේ හෙළන ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. සෞඛ්‍ය අංශවල උපදෙස්වලට වඩා වෙනත් අයගේ උපදෙස් මුලට රැගෙන තිබෙනවා. ඒ නිසා වැඩ කරන ජනතාවට අයිතිවාසිකම් හා වරප්‍රසාද වගේම තමන්ගේ ජීවිත ආරක්ෂාකර ගැනීමේ අරගලයකටත් මුහුණදීමට සිදු වී තිබෙනවා.

හෙට දවසේ අප අපේ සටන ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියන අභියෝගයට ඔබ අප සැමදෙනා මුහුණ පා සිටිනවා. වසංගත තත්ත්වයේ සැබෑම තොරතුරු ජනතාවට හෙළි කරන්නේ නැහැ. මේ තත්ත්වය හමුවේ රැකියා අහිමිවීම වැඩි වෙමින් තිබෙනවා. අනික් පැත්තෙන් කම්කරු දිනයේදීත් හාම්පුතුන් තමන්ගේ කර්මාන්ත ශාලාවල සේවකයන් ගෙන් වැඩ ගත්තා. තමන්ගේ ලාබය වෙනුවෙන් මැයි දිනය දවසේත් පෞද්ගලික අංශයේ සේවකයෝ සේවයේ යොදවා තිබෙනවා. වසර 132කට පෙර එදා හේමාකට් කම්කරුවෝ පාරට බැස්සේ අනාගත පරම්පරාවන් වෙනුවෙන්. එදා ලබාගත් පැය අටේ වැඩ දිනය වෙනුවට ධනපති පන්තිය පැය 10ක වැඩ දිනයක් වෙනුවෙන් නීති සංශෝධනය කරන්න කටයුතු කරමින් ඉන්නවා. කාන්තාවන් රාත්‍රියේ සේවයේ යොදවන්න නීති සංශෝධනය කරමින් ඉන්නවා. සමාජය වෙනස්කම්වලට ලක් වෙලා, ප්‍රවාහන පහසුකම් වැඩි වෙලා, හැබැයි කාන්තාවකට, දරුවකුට ආරක්ෂා සහිතව පාරේ යන්න පුළුවන්ද කියන අනතුර තිබෙනවා.

නදී මාණික්කගේ

නව අදහස දක්වන්න