සංවර්ධනය නවතා දමා මහජන ජීවිත රකින්න එජාප සභාපති වජිර අබේවර්ධන | දිනමිණ

සංවර්ධනය නවතා දමා මහජන ජීවිත රකින්න එජාප සභාපති වජිර අබේවර්ධන

කොරෝනා වසංගත තත්ත්වය උත්සන්න වෙමින් පවතින මේ මොහොතේ රටේ සියලු සංවර්ධන ක්‍රියාදාමයන් අත්හිටුවා, සියලු සම්පත් මහජන ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් යොදවන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශක් කරමින් ඊයේ (03) පැවසීය.

කොරෝනා ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා රජය නිසි වේලාවට නිවැරදි තීන්දු තීරණ නොගැනීම නිසා මේ වනවිට රටේ සමස්ත ජනතාව දැඩි අවදානමකට මුහුණ පා සිටින බවත් මෙම තත්ත්වය හමුවේ තවදුරටත් බලා නොසිට වැඩි මිලට හෝ එන්නත් මෙරටට ගෙන්වා ජන ජීවිත ආරක්ෂාකර ගැනීමට රජය පියවර ගත යුතු බව හෙතෙම අවධාරණය කළේය.

රට සතියකට හෝ දෙකකට ලොක්ඩවුන් කර ජන ජීවිත ආරක්ෂාකර ගැනීම සඳහා පියවර ගන්නා ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් විශේෂඥයන් දිගින් දිගටම ඉල්ලීම් කළත් රජය ඒ පිළිබඳ අවධානය යොමු නොකිරීම නිසා දිනෙන් දින රට අවාසනාවන්ත තත්ත්වයකට තල්ලු වෙමින් පවතින බව ඒ මහතා පෙන්වා දුන්නේය.

කොරෝනා වසංගත තත්ත්වය ආරම්භ වූ මොහොතේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා PCR පරීක්ෂණ වැඩිකරන ලෙසත්, දැඩි සත්කාර ඒකක ඇඳන් ප්‍රමාණය වැඩිකරන ලෙසත්, ඔක්සිජන් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සෞඛ්‍ය මෙවලම් සපයා ගැනීමට පියවර ගන්නා ලෙසත් රජයෙන් ඉල්ලා සිටි බව සිහිපත් කළ ඒ මහතා එදා එම ඉල්ලීම කෙරෙහි අවධාණය යොමු කළේ නම් අද වනවිට තත්ත්වය මෙතරම් බරපතළ නොවීමට ඉඩ තිබූ බවත් පැවසීය.

 

ශිරෝමි අබයසිංහ

නව අදහස දක්වන්න