සමාජ-සංස්කෘතික-ආර්ථික අභිලාෂ ඉටු කරන්න මාධ්‍ය නිදහස යොදාගන්න අගමැති සියලු මාධ්‍යවේදීන්ට කියයි | දිනමිණ

සමාජ-සංස්කෘතික-ආර්ථික අභිලාෂ ඉටු කරන්න මාධ්‍ය නිදහස යොදාගන්න අගමැති සියලු මාධ්‍යවේදීන්ට කියයි

ජනතාවට නිවැරදි තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය සුරක්ෂිත කරමින් රටේ සමස්ත සමාජ, සංස්කෘතික හා ආර්ථික අභිලාෂ සාක්ෂාත් කර ගැනීම සඳහා මාධ්‍ය නිදහස යෙදාගන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා සියලු ජනමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කරයි.

ලෝක මාධ්‍ය නිදහස් දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරන අගමැතිවරයා වැඩි දුරටත් මෙසේ සඳහන් කරයි.

ලෝක මාධ්‍ය නිදහස් දිනය යෙදෙන අද දිනයේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා දිවා රෑ වෙහෙසෙන සියලුම මාධ්‍ය ආයතන සහ ජනමාධ්‍යවේදීන්ට සුබ පැතුම් එක් කරන්නේ ඉමහත් සතුටිනි. මේ වන විට තොරතුරු සන්නිවේදනය ලොව වේගයෙන්ම දියුණු වන විෂය පථයක් බවට පත්ව තිබේ. පසුගිය දශක කිහිපයක කාලය තුළ විවිධ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ජනතාවට තොරතුරු ගලායෑම වේගවත් විය.

එහෙත් කාලීන අවශ්‍යතාව වී ඇත්තේ ස්වාධීන හා වගකීම් සහගත මාධ්‍ය භාවිතාවයි. ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය සුරක්ෂිත වන්නේ නිවැරදි මාධ්‍ය භාවිතාව තුළිනි. ඒ වෙනුවෙන් කටයුතු කිරීම සියලු දෙනාගේම වගකීමක් මෙන්ම යුතුකමද වන බව මාගේ විශ්වාසයයි.

මෙරට මාධ්‍ය නිදහස බරපතළ ලෙස කප්පාදුවට ලක්ව තිබූ යුගයන් පිළිබඳ අප අමුතුවෙන් සිහිපත් කළ යුතු නැත. අප බලයට පත්ව සිටින සෑම අවස්ථාවකම තොරතුරු දැනගැනීමේ අයිතියත් මාධ්‍ය නිදහසත් සුරක්ෂිත කිරීමට කටයුතු කර ඇති බව සිහිපත් කරමි.

ලොවම වසංගත තත්ත්වයකින් පීඩා විඳින මෙවන් වකවානුවක තොරතුරු මහජන යහපත උදෙසාය තේමාවෙන් මෙවර ලෝක මාධ්‍ය නිදහස් දිනය සැමරීම ඉතා කාලෝචිතය.

රටක් වශයෙන් කොවිඩ් වසංගත අභියෝගයට මුහුණ දෙමින්, එය මැඩලීමේ කාර්යයේ දී ජනතාව දැනුවත් කරමින් ජීවිත අවදානම නොතකා මාධ්‍යවේදීන් ඉටු කරන සුවිශේෂ කාර්යය භාරය සහ කැප කිරීම රජය සැමවිටම අගය කරමි.

දැනුමෙන් සන්නද්ධ විය යුතු ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය දියුණුව උදෙසා අධ්‍යාපන ශිෂ්‍යත්ව මෙන්ම මාධ්‍ය උපකරණ පිරිනැමීමට අප තැබූ පියවර ඉදිරියටත් ක්‍රියාත්මක වනු ඇත. ජනතාවට නිවැරදි තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය සුරක්ෂිත කරමින් රටේ සමස්ත සමාජ, සංස්කෘතික හා ආර්ථික අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා මාධ්‍ය නිදහස යෙදා ගන්නැයි මා සියලු ජනමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිමි.

නව අදහස දක්වන්න