මධ්‍යම අධිවේගයේ මීරිගම - පොතුහැර ඉදිකිරීම් 90%ක් අවසන් යහපාලන ඇමැතිගේ සමාගමේ වැඩ පමණක් තාමත් ඉබි ගමනේ - ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු | දිනමිණ

මධ්‍යම අධිවේගයේ මීරිගම - පොතුහැර ඉදිකිරීම් 90%ක් අවසන් යහපාලන ඇමැතිගේ සමාගමේ වැඩ පමණක් තාමත් ඉබි ගමනේ - ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවනි අදියරේ මීරිගම සිට පොතුහැර දක්වා ඉදිකිරීම් 90%ක් අවසන් නමුත් යහපාලන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයකුට අයත් ඉදිකිරීම් සමාගමට අයත් කොටසේ ඉදිකිරීම් තවමත් ඉබිගමනේ බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

එම කොන්ත්‍රාත් සමාගමේ ඉදිකිරීම්වල මන්දගාමීත්වය නිසා එහි පලවිපාක අද ජනතාවට අත්විඳින්න සිදු වී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ මීරිගම සිට පොතුහැර දක්වා වූ කොටසේ ඉදිකිරීම්වල ප්‍රගතිය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව අනාවරණය කළේය.

මෙහිදී ඉදිකිරීම්වල වත්මන් තත්ත්වය පිළිබඳ ව්‍යාපෘති භාර නිලධාරීන්ගෙන් කරුණු විමසූ අමාත්‍යවරයා ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ඔවුන්ට උපදෙස් දුන්නේය.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීවේය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට පොතුහැර දක්වා කොටසේ වැඩ කටයුතු අප ඉක්මනින් ඉවර කරන්න බලාපොරොත්තු වනවා. දැන් මේ අදියරේ ඉදිකිරීම්වල විශාල ප්‍රගතියක් තියෙනවා. මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ මීරිගම සිට පොතුහැර දක්වා වූ කොටසේ ඉදිකිරීම් බලාපොරොත්තු වූ දිනට අවසන් කිරීමට නොහැකි වූයේ පසුගිය යහපාලන ආණ්ඩු සමයේ රජයේ කැබිනට් අමාත්‍යවරයකුට අයත් ඉදිකිරීම් සමාගමකට ඉදිකිරීම් සඳහා කොන්ත්‍රාත් ලබා දුන් නිසයි. එම කොන්ත්‍රාත් සමාගමේ ඉදිකිරීම්වල මන්දගාමීත්වය නිසා එහි පලවිපාක අද ජනතාවට අත්විඳින්න සිදු වෙලා. පසුගිය අවුරුදු පහ ඇතුළත ඔවුන් වැඩ කටයුතු කළේ ඒ ආකාරයටමයි. සෑම සංවර්ධන ව්‍යාපෘතියක්ම භාර දුන්නේ ඔවුන්ගේ හිතවතුන්ටයි. ඒ නිසා තමයි ජනතාව ඔවුන්ව පරාජයට පත් කළේ. මුඩුබිමක් බවට පත් කළ රටක් සංවර්ධනය කරා අරගෙන යනවා කියා අප කිවුවා. මුඩු බිමක්ව තිබූ රට වැඩබිමක් බවට පත් කළා. අද මුළු ලංකාවම සංවර්ධනය වෙමින් තියෙනවා.

පාරවල් වගේම වැව් පන්දහක් අප හදනවා. ඒ වගේම විවිධ ව්‍යාපෘති ගණනාවක් අද මේ කොවිඩ් අර්බුදය පවතිද්දීත්, ඒවගේම ලෝකයේ ආර්ථිකය හෙලවී තිබියදීත් අප කරගෙන යනවා. පසුගිය අවුරුදු පහ ඇතුළත ප්‍රශ්න නැතුව තිබියදීත් ඔවුන්ට මේ රට සංවර්ධනය කරා මෙහෙයවන්න බැරි වුණා. කෝවිඩ් අර්බුදය තිබියදීත් අප මනා ලෙස එය කළමනාකරණය කර ගනිමින් රට දැවැන්ත සංවර්ධනයක් කරා අරගෙන යනවා. ජනාධිපතිතුමා ඇතුළු රජය, රාජ්‍ය නිලධාරීන් සමඟ එකතු වී අපේ රට සංවර්ධනය කරා මෙහෙයවනවා.

කොතරම් බාධා ආවත්, ප්‍රශ්න ආවත්, නොයෙක් මඩ ප්‍රචාර අරගෙන ගියත් ඒ කිසි දේකට සැලෙන්නේ නැතුව අප මේ රට මෙහෙයවනවා. සංවර්ධනය කරා රැගෙන යනවා.

මෙම අවස්ථාවට මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ ව්‍යාපෘති අධ්‍යක්ෂ කෙහෙල්ඇල්ල මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ක්‍රිසන්ති විතාරණ

නව අදහස දක්වන්න