කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය කල් යයි | දිනමිණ

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය කල් යයි

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය හෙට (05) දිනයේ නොපැවැත්වීමට කතානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද  (04) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී  තීරණය කර ඇත . 
 
ඒ වෙනුවට අද (04)  ආරම්භ කරන ලද  “රටේ පවතින වර්තමාන තත්ත්වය” පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය හෙට  (05) දිනයේ ද  පෙරවරු 10 සිට පස්වරු 4.30 දක්වා තවදුරටත් පැවැත්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළේය .
 
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව ඉදිරිපත් වූ පෙත්සම් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මෙතෙක් කතානායකවරයාට නොලැබීම හේතුවෙන් මෙලෙස විවාදය හෙට (05) නොපැවැත්වීමට තීරණය කළ බවද මහලේකම්වරයා සඳහන් කළේය. 
 
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ලැබීමෙන් පසුව ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම් වාරයේදී එම පනත් කෙටුම්පත විවාදයට ගැනීමට තීරණය කර තිබේ.
 
හෙට දිනයේද විවාදය පාර්ලිමේන්තුව දිවා ආහාරය සඳහා අත්හිටුවීමකින් තොරව පැවැත්වෙන බවද මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
 
පවතින කොවිඩ් 19 අභියෝගය හමුවේ මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම මැයි 04 සහ 05 යන දිනදෙක  තුළදී පමණක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු  පිළිබඳ කාරක සභාව පසුගිය අප්‍රේල් 30 වැනිදා තීරණය කළේය.

නව අදහස දක්වන්න