මහල් නිවාස ගැන වගවීම අපගේ වගකීමයි | දිනමිණ

මහල් නිවාස ගැන වගවීම අපගේ වගකීමයි

සහාධිපත්‍ය කළමනාකරණ  අධිකාරියේ සභාපති,  නීතිඥ සරණ කරුණාරත්න

සංවර්ධනයේ නිම්වළලු පුළුල් වීමේදී ඉඩම් හා දේපළ කළමනාකරණය නව දැක්මකින් කළ යුතු වෙයි. නගර අලංකරණය, භූමිය කළමනාකරණය මෙන්ම පාරිසරික සමතුලිත බව ජන දිවියෙහි සහජීවනය සුරැකෙන ආකාරයෙන් ඉටු කිරීම ප්‍රමුඛ වෙයි. මේ පරමාර්ථ ඉටු කිරීමේ අරමුණින් ස්ථාපිත කර ඇති සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සංවර්ධනයේ ප්‍රමුඛ වෙයි. එහි සභාපති, නීතිඥ සරණ කරුණාරත්න හා සාමාන්‍යාධිකාරි, ආචාර්ය ඉඳුනිල් ලියනගේ සමඟ කළ සාකච්ඡාවකි මේ.

 සහාධිපත්‍ය දේපළ යනුවෙන් හඳුන්වන්නේ මොනවා ද?

සිරස් අතට මහල් දෙකක් හෝ ඊට වැඩි මහල් ප්‍රමාණයකින් යුතු පොදු අංගෝපාංග සහ පොදු පහසුකම් පොදුවේ භුක්ති විඳිනු ලබන ගොඩනැඟිල්ලක් සහාධිපත්‍ය දේපළක් වෙනවා. සාමාන්‍යයෙන් පිඹුරක මායම් හතරක් ඇති අතර, සිරස් අතට ගොඩනැඟුණු සහාධිපත්‍ය දේපළක මායිම් හයක් දක්නට ලැබෙනවා තිරස් අතට පොදු බිත්තිවලින් වෙන්වූ පොදු පහසුකම් සහ පොදු අංගෝපාංගවලින් යුතු ඒවා පොදුවේ භුක්ති විඳිනු ලබන ඒකකයන්ද සහාධිපත්‍ය දේපළක් ලෙස හැඳින්විය හැකියි.

සහාධිපත්‍ය දේපළ දැනට ඉදි වෙමින් පවතින සහ දැනට පරිහරණය කරමින් පවතින වශයෙන් කොටස් දෙකකින් යුතු වෙයි. මහල් නිවාස සංකීර්ණ, ව්‍යාපාරික ස්ථාන මෙන්ම ආයතන කිහිපයක් එකම ගොඩනැඟිලි සංකීර්ණයක් තුළ පවත්වාගෙන යන අවස්ථා සහාධිපත්‍ය දේපළක් ලෙස හඳුනාගත හැකියි. එහි නේවාසික හා මිශ්‍ර සහාධිපත්‍ය දේපළ ලෙස වර්ගීකරණය කර තිබෙනවා. ජනගහනය වර්ධනය මෙන්ම නාගරීකරණය ව්‍යාප්ත වීම හේතුවෙන් සහාධිපත්‍ය ගොඩනැඟිලි සංකීර්ණ නාගරික නිවෙස් කළමනාකරණයේ මූලික විසඳුමක් බවට හඳුනා ගෙන තිබීම සංවර්ධිත රටවල මූලික ලක්ෂණයකි. විධිමත් මට්ටමින් සහාධිපත්‍ය දේපළ කළමනාකරණය කිරීම. මෙන්ම එවැනි දේපළ ඉදි කිරීම සඳහා ආයෝජනයද ලොව ප්‍රමුඛතම ආයෝජන ක්‍රමෝපායක් බවට පත්වී ඇත.

 

මහල් නිවෙස් මෙන්ම මහල් නිවෙස් සංකීර්ණ විවිධ සමාජ මට්ටම් අනුව වෙන්ව තිබෙනවා. සහාධිපත්‍ය දේපළ සම්බන්ධයෙන් පවතින නීති රීති හා හිමිකම් එලෙස වෙනස් වෙනවා ද?

සමාජ තරාතිරම්වලට වඩා දැනටමත් සහාධිපත්‍ය දේපළ ලෙස භාවිත කරන දේපළ මෙන්ම අනාගතයේදී භාවිත කිරීම සඳහා මිලදී ගැනීමට අපේක්ෂිත දේපළ පිළිබඳ මෙහිදී අවධානය යොමු කළ යුතුයි. සහාධිපත්‍ය දේපළ භාවිත කිරීමේදී නොදැනුවත්කම හේතුවෙන් බොහෝ ගැටලු උද්ගත වී තිබෙනවා. ඒවා හඳුනා ගැනී⁣ම සහාධිපත්‍ය දේපළ පරිහරණය කරන අයට මෙන්ම ඉදිරියේදී පරිහරණය කිරීමට අපේක්ෂිත අයටත් රැකුලක් වේවි.

නිවෙස් සංකීර්ණයක් හෝ පොදුවේ භාවිත කරන ගොඩනැඟිල්ලක පදිංචි වීමට පෙර 50-600ක පමණ පිරිසක් සමඟ නිරතුරුව ගැටෙමින් ජීවත් වීමට කැමැත්තක් තිබිය යුතුය. එසේම එවැනි ස්ථානවල ඇති විදුලි සෝපාන, පියගැට පෙළ, පොදු ශාලා, පොදු ආලින්ද ආදිය භාවිත කිරීමේදී පොදු පිළිවෙතකට අනුව භාවිත කළ යුතු වෙයි. කිසිවිටකත් තම පෞද්ගලික ⁣දේපළක් ලෙස සලකා කටයුතු නොකළ යුතු වෙනවා.

සහාධිපත්‍ය දේපළක් මිලදී ගැනීමට අපේක්ෂා කරන්නකු පළමුව තමාට හිමි දේපළ පිළිබඳ අවබෝධයකින් සිටිය යුතුයි. එවැනි දේපළ අලෙවි කිරීම සඳහා ප්‍රචාරක ආයතන විවිධ උපක්‍රම භාවිත කරන අතර, එවැනි ප්‍රචාරණයන්ගෙන් පමණක් නොසෑහී අදාළ දේපළ පිළිබඳ පුළුල් අවබෝධයක් ඇති කර ගත යුතුයි.

උදාහරණයක් විදිහට අදාළ ගොඩනැඟිල්ලට ළඟා විය හැකි මාර්ග පහසුකම් පිළිබඳ දිශාවන් කිහිපයකින් පෙන්වා තිබුණද ඒවා නිවැරදි නොවන අවස්ථා පැවතිය හැකියි. එපමණක් නොවේ තමන් මිලදී ගන්නා මහල් නිවෙසට පිවිසිය හැකි විදුලි සෝපාන දෙකක් පිළිබඳ තොරතුරු දිය හැකියි. නමුත් සෑබෑ ලෙසම පවතින්නේ එක් විදුලි සෝපානයක් පමණක් විය හැකියි. මෙවන් ගැටලු ඇති නොවීමට නම් සහාධිපත්‍ය පිඹුර පරීක්ෂා කළ යුතුයි. මෙවැනි ගනුදෙනුවකදී සහාධිපත්‍ය අධිකාරියෙන් අනුමැතිය දෙන ලද සහාධිපත්‍ය පිඹුර ඉල්ලා සිටීමේ අයිතිය ගැනුම්කරුවන් සතුයි. එසේම සහාධිපත්‍ය පිඹුර දීම සඳහා දේපළ අලෙවිකරුවන් බැඳී සිටිනවා.

 

සහාධිපත්‍ය දේපළක් නෛතික වීමට නම් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියෙහි අනුමැතිය පැවතිය යුතුම ද?

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියෙහි අනුමැතියෙන් තොරව එවන් දේපළක් ඉදි කිරීමට ප්‍රාදේශීය සභා පළාත් සභා නගර සභා ආදි කිසිදු ආයතනයකින් අනුමැතිය හිමි වන්නේ නෑ. එපමණක් නොවේ මෙවන් ආයෝජන සඳහා බැංකු ණය ආදිය දීමටත් පාරිසරික වාර්තාව මෙන්ම සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියෙහි අනුමැතිය හිමිවී ඇති බවට වන වාර්තාවද වැදගත් වෙයි. එසේම සහාධිපත්‍ය දේපළක් මිලදී ගැනීමට එකඟවී විකිණීමේ ගිවිසුමකට පාරිභෝගිකයා සංවර්ධනකරු සමඟ එළඹීමේදී සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නිසි අවසරය ලබා ඇත්දැයි සෙවීම වැදගත්.

 

සහාධිපත්‍ය පිඹුරකට අනුමැතිය දීමේදී සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියෙහි අවධානය යොමු වන ඉසවු මොනවා ද?

ජනාවාසයක් සඳහා සුදුසු පරිසරයක් පවතීද යන්න මෙන්ම, ස්වාභාවික අනතුරු උවදුරු සඳහා අදාළ පරිසරයෙහි පවතින ආරක්ෂිත බව මෙන්ම මලාපවහන පද්ධති, ජලසැපයුම, වාතාශ්‍රය ලැබීම, ගොඩනැඟිල්ලෙහි ශක්තිමත් බව, යොදා ගන්නා අමුද්‍රව්‍යයන්ගේ ප්‍රමිතිය, පොදු පහසුකම්වල ප්‍රමාණාත්මක බව ආදි කරුණු රාශියක් පිළිබඳ අවධානය යොමු කීරීමෙන් අනතුරුවයි අනුමැතිය දෙන්නේ.

 

නිවෙස් සංකීර්ණ කඩාවැටුණු අවස්ථා මෙන්ම ඇතැම් ව්‍යාපෘති වංචාසහගත බවට චෝදනා ඉදිරිපත් වී තිබෙනවා. සහාධිපත්‍ය පිඹුර නිසි ලෙස අනුමත කර ගත්තේ නම් එබඳු ගැටලු ඇති විය හැකි ද?

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය ලෙස අප අපගේ වගකීම මැනවින් ඉටු කළ ද වංචාසහගත පිරිස් වැරදි කරන අවස්ථා ⁣හසු වී තිබෙනවා. ඇතැම් අය අනුමැතිය ගත් ඉදි කිරීමට වඩා වෙනස් ඉදි කිරීම් කළ අවස්ථා තිබෙනවා. අප දැනුම්වත් වන විට ඒ දෙපළෙහි අලෙවි කිරීම් කර අවසන් වූ අවස්ථා තිබෙනවා. සහාධිපත්‍ය පිඹුර අනුමත කිරීම අදියර කිහිපයකින් කළද, පසුවිපරම් කළද වංචා කිරීම් ඇතැම් අවස්ථාවල වෙනවා. මෙවැනි ලිපියකින් අප අපේක්ෂා කරන්නේත් ⁣පාරිභෝගිකයා දැනුම්වත් කිරීම මෙන්ම නිවැරදිව මෙවැනි ආයෝජන කිරීමට ආයෝජකයන් දිරිමත් කිරීමයි.

 

සහාධිපත්‍ය දේපළක් මිල දී ගැනීමට පෙර සැලකිලිමත් විය යුත්තේ කුමන කාරණා පිළිබඳ ද?

නාගරික සංවර්ධන අධිකාරියෙහි හෝ අදාළ පළාත් පාලන ආයතනයන්හි සහතික ගෙන තිබේ දැයි විමසීම. එම ආයතන වෙතින් අනුමත කරන ලද අදාළ සහාධිපත්‍ය දේපළෙහි පිඹුර පරීක්ෂා කළ හැකිය. එසේම අදාළ පොදු පහසුකම් නිසි පරිදි ස්ථාපිතව ඇති දැයි විමසිය යුතුය. තම නිවෙසට අයත් යැයි සඳහන් නියමිත වර්ග අඩි ප්‍රමාණය පවතී දැයි විමසා බැලීමද වැදගත් කරුණකි.

සහාධිපත්‍යය කළමනාකරණ අධිකාරිය විසින් අනුමත කරන ලද පිඹුර නිසි ලෙස පරීක්ෂා කිරීමෙන් අදාළ දේපළ පිළිබඳ මනා අවබෝධයක් ගත හැකියි. පිඹුරෙහි සඳහන් නොවන පොදු පහසුකම්, කිසිවක් හිමි වීමට අවකාශ නොමැති අතර, ඒවා ගැනීම සඳහා නෛතික බැඳීමක් ද තැත. එසේම සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ අවසන් සහතිකය මත සහාධිපත්‍ය පිඹුර නිසි පරිදි ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචි කර ඇත් ද යන්න පරීක්ෂා කිරීමද අතිශය වැදගත්.

 

මෙවන් දේපළක් සම්බන්ධයෙන් පාරිභෝගිකයාට මුහුණ දීමට වන නරකම අත්දැකීම් මොනවා ද?

අදාළ දේපළ පිළිබඳ පිඹුර සහාධිපත්‍ය අධිකාරියෙහි ලියාපදිංචි නොවීම නිසා ඔප්පු ගත නොහැකි වීම. අදාළ භූමියෙහි මෙන්ම ඉදි කිරීම්වල අක්‍රමිකතා හේතුවෙන් ගෙවා ඇති මි⁣ලෙහි වටිනාකම අහිමි වීම මෙන්ම ජීවත් වීමට නුසුදුසු ස්ථානයක් බවට පත්වීම. මෙවන් තත්ත්වයන් ඇති වීම වළක්වා ගත හැක්කේ දැනුම්වත් බව වැඩි කර ගැනීම හා නෛතික රාමුව පිළිබඳ මනා අවබෝධයකින් යුතු වීමෙන් පමණයි.

 

සහාධිපත්‍ය දේපළක් තුළ ස්ථාපිත කරනු ලබන කළමනාකරණ සංස්ථාව පිළිබඳ විස්තර කළොත්?

උදාහරණයක් විදිහට ඇන්ඩසන් නිවෙස් සංකීර්ණය පිළිබඳ සිතමු. එහි එක් එක් ගොඩනැඟිල්ල සඳහා වෙන් වෙන් වශයෙන් නිවැසියන් නියෝජනය කරමින් සකසන ලද කළමනාකරණ සංස්ථාව නම් ආයතනයක් පවතිනවා. අදාළ සහාධිපත්‍ය දේපළට නිත්‍යනුකූල සාධන පත්‍රයක් මඟින් හිමිකම් කියන නියෝජිතයන් අතරිනුයි මේ කළමනාකරණ සංස්ථාව සඳහා නියෝජිතයන් පත් කිරීම කරන්නේ. එම කළමනාකරණ හිමිකම සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියෙහි ලියාපදිංචි විය යුතුයි. අදාළ නිවෙස් සංකීර්ණයෙහි පොදු පහසුකම් නඩත්තුව කෙරෙනුයේ මේ ආයතනය හරහායි. මේ ආයතන පිහිටුවීම හා නියාමනය හා අවැසි සහාය දීම සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියෙහි ප්‍රමුඛ වගකීමක්.

 

මහල් නිවෙස් සංකීර්ණ ඉදි කරන ව්‍යවසායකයන්ට සලසන සහන මොනවා ද?

රටක් විදිහට නාගරිකකරණය මෙන්ම අර්ධ නාගරිකකරණයට කඩිනමින් ප්‍රවේශ වන වටපිටාවකයි අප ඉන්නේ. කඩිනමින් ඉදි වන අධිවේගි මාර්ග පද්ධතිය, ජනප්‍රිය පාසල් සඳහා වන තරගය. කර්මාන්තශාලා වැනි කරුණු නිසා අඩු ආදායම්ලාභි, දිලිඳු අයට අමතරව මධ්‍යම පන්තියේ නිවෙස් ගැටලුව ඉහළ මට්ටමකයි පවතින්නේ. මේ අරතරින් මධ්‍යම පාන්තිකයන්ට තම ආදායමට සරිලන අන්දමින් සහනදායි ගෙවීමේ පදනමකට ගැළපෙන අයුරින් මහල් නිවෙස් ඉදි කිරීමේ කාර්ය පෞද්ගලික අංශයේ දේපළ සංවර්ධනකරුවන් වෙත පැවරීමටයි සැලසුම වී ඇත්තේ. මෙහිදී සුදුසු ඉඩම් රජය විසින් දීමෙන් වඩාත් සහනදායී මිලකට නිවෙස් දීමට හැකි වේවි. මේ මඟින් දේශීය ව්‍යවසායකයන් සඳහා ආයෝජන අවස්ථා පුළුල් වනු ඇතැයි අපේක්ෂා කරන අතර, රැකියා අවස්ථා බහුල වීමටද මඟ සැලසෙයි.

මේ ක්ෂේත්‍රය සඳහා විදෙස් ආයෝජනද ආකර්ෂණය කර ගැනීමේ වැඩසටහනක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය වෙතින් දෙන සහන හා පහසුකම් එවැනි ආයෝජන සඳහා හිමි වනු ඇති. මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් ආර්ථිකයට විසල් දායකත්වයක් දිය හැකි බවයි අපේ විශ්වාසය.

 

සහාධිපත්‍ය අධිකාරියෙහි අනාගත සංවර්ධන ඉලක්ක මොනවා ද ?

ඉතාම වැදගත් ප්‍රශ්නයක් . මීට දශක 5කට පමණ පෙර එනම් 1970දී එවකට ආණ්ඩු බලය හිමිව තිබූ සමඟි පෙරමුණ විසින් ජනතාවගේ නිවෙස් ප්‍රශ්නය විසඳීමට මහල් නිවෙස් යෝජනා ක්‍රමයන් ආරම්භ කළා. ඒ මහල් නිවෙස්වල පොදු පහසුකම් සහ පොදු අංගෝපාංග නියාමනය කිරීම සඳහා ‘පොදු පහසුකම් මණ්ඩලය ‘ 1973 අංක 10 දරන පනත මඟින් ස්ථාපනය වුණා. මෙය 2003දී ‘සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය‘ වශයෙන් වඩාත් පුළුල් සේවාවක් සැපයීම සඳහා පරිවර්තනය වුණා.

නිදහසින් පසු ගෙවී ගිය දශක හතක කාලය තුළ ජනතාවගේ නිවෙස් ප්‍රශ්න විසඳීමට නොයෙක් ආණ්ඩු ව්‍යාපෘති ගෙනාවා. එහෙත් වර්තමාන ජනාධිපතිවරයාගේ ‘සෞභාග්‍යයේ දැක්ම‘ තරම් නිවෙස් ප්‍රශ්න විසඳීමට ගෙන ආ වෙනත් ප්‍රායෝගික වැඩපිළිවෙළක් නැහැ. විශේෂයෙන්ම ‘සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්තිය තුළ නිවෙස් ප්‍රශ්නය විසඳීමේ ප්‍රායෝගික හා සාර්ථක වැඩපිළිවෙළක් සහාධිපත්‍ය දේපළ ඉදිකිරීම තුළින් ලබා ගත හැකි බවට දක්වා තිබෙනවා. ‘සෑම පවුලකටම සුවපහසු නිවෙසක්‘ සංකල්පය යටතේ නාගරික, අර්ධ නාගරික පමණක් නොව වතු ආශ්‍රිතව ද සහාධිපත්‍ය දේපළ ඉදි කිරීම තුළ භූමිය ඵලදායි ලෙස කළමනාකරණය කර ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නාගරික මධ්‍ය පාන්තික හා ඉහළ මධ්‍ය පාන්තික තට්ටු නිවෙස් සංකීර්ණ පමණක් නොව සෑම මැතිවරණ කොට්ඨාසයකම නිවෙස් 100 බැඟින් සහාධිපත්‍ය දේපළ ඉදි කිරීමටත්, වතු ලැයින් වෙනුවට ඔවුන්ටද සහාධිපත්‍ය නිවෙස් ඒකක දීම දැනටමත් අරඹා තිබෙනවා.

මේ සියලු නිවෙස් ව්‍යාපෘති තුළ පොදු පහසුකම් සහ පොදු අංගෝපාංග පමණක් නොව අනාගතයේදී එකී දේපළ නිසි පරිදි කළමනාකරණය කර ගෙන පවත්වා ගෙන යෑම පිළිබඳ පූර්ණ නියාමනය අප අධිකාරිය සතු වෙනවා. ජනාධිපතිවරයාගේ රාජ්‍ය ප්‍රතිපත්තිය වේගවත් කිරීම සඳහා නිවෙස් ඉදි කිරීමට නියමිත රාජ්‍ය ආයතන නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, නාගරික නිවාස සංවර්ධන අධිකාරිය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට දැනටමත් පියවර රාශියක් අප අධිකාරිය අරගෙන තිබෙනවා.

සංවර්ධනයෙහි මූලික අරමුණක් සැමට නිවෙසක් හිමිව තිබීම. නිදහස් සාමකාමි නිවෙසක ජීවත් වීම මානවීය අවශ්‍යතාවක්. තවත් පැත්තකින් නාගරිකව සුවපහසු දිවියක් අපේක්ෂා කරන අය වෙනුවෙන් වාසස්ථාන ඉදි කිරීම ලොව ප්‍රමුඛතම ආයෝජන ක්ෂේත්‍රයක්. ඒ සඳහා දෙස් විදෙස් ආයෝජකයන්ට හොඳ අවස්ථාවක් ලැබෙනවා. ප්‍රමිතියට අනුව ඉදි කිරීම් කරමින් නෛතික රාමුවට අනුව කටයුතු කරයි නම් හොඳ ලාභයක් ලැබිය හැකි ක්ෂේත්‍රයක් වගේම නාගරිකව දිවි ගෙවමින් පහසුකම් අත්විඳීමට කැමති අයට සේවාවක් ද වෙනවා. එසේ වෙන්නේ මේ ක්ෂේත්‍රය සංවර්ධනය වීමෙන් පමණයි. අප අධිකාරියෙහි අරමුණ සහාධිපත්‍ය සංවර්ධන ක්ෂේත්‍රය පාරිභෝගිකයාටත් ආයෝජකයාටත් දෙදෙනාටම ජයග්‍රාහි බව අත් වන ක්ෂේත්‍රයක් ලෙසට දියුණු කිරීමයි.

 

බුද්ධිකා බ්‍රහ්මණගේ

 

නව අදහස දක්වන්න