කල් ඉකුත් නොවන නබකෝව්ගේ, ‘සමාන රූපීයා’ | දිනමිණ

කල් ඉකුත් නොවන නබකෝව්ගේ, ‘සමාන රූපීයා’

සාහිත්‍ය ලෝකය තුළ, ව්ලදිමීර් නබකෝව් (Vladimir Nabakov) නම කියූ සැණින්, කාගේත් මතකයට නැංවෙනු ඇත්තේ, ‘ලොලිටා’ (Lolita) නමැති සුප්‍රකට නවකතාවය. ඔහු කෙටිකතාකරුවකු, පරිවර්තකයකු පමණක් නොව කීට විද්‍යාඥයකු ද විය. එහෙත් ජාත්‍යන්තර කීර්තියට පත්වූයේ ‘ලොලිටාව’ තුළිනි.

රුසියාවේ උපත ලද්දෙකු වුව ද, ව්ලදිමීර් නබකෝව් පසු කාලයක හැඳින්වුණේ රුසියානු - අමෙරිකානු ගත්කරුවකු ලෙසිනි. ධනවත් පවුලක සාමාජිකයකු වූ නබකෝව්, රුසියානු විප්ලවයෙන් පසු, එරටින් පිට වී ප්‍රංශය, ජර්මනිය වැනි රටවල වෙසෙමින්, පසුව අමෙරිකාවේ පදිංචිවීම එයට හේතු විය. 1977 දී ඔහු මිය යන විට වාසය කළේ, ස්විට්සර්ලන්තයෙහිය.

‘ලොලිටා’ නවකතාවට ඉමහත් ප්‍රසිද්ධියක් ලැබීමට හේතු වූයේ, එහි ආන්දෝලනාත්මක ‍තේමාව නිසාය. මැදිවියේ පසුවන, සාහිත්‍ය පිළිබඳ මහාචාර්යවරයකු හා දොළොස් හැවිරිදි ගැහැනු ළමයකු අතර ඇති වන අසම්මත ප්‍රේම සබඳතාවක් වටා ලියැවුණු ‘ලොලිටා’ ප්‍රථමවරට ප්‍රකාශයට පත්වූයේ 1955 දී පැරීසියේදීය. රුසියානු බසින් මෙන්ම, ඉංග්‍රීසියෙන් ද ලිවීමෙහි දක්ෂතාවක් දැක්වූ නබකෝව්, ‘ලොලිටා’ ලියන්නේ ද ඉංග්‍රීසි බසිනි. පසුව ඔහු විසින්ම එය රුසියානු බසට ද පරිවර්තනය කරන ලදී. (නබකෝව්, අමෙරිකාවේ වෙලස්ලි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු වශයෙන් ද, කෝර්නල් සරසවියෙහි රුසියානු භාෂා මහාචාර්යවරයා වශයෙන් ද සේවය කර ඇත. 1972දී සාහිත්‍ය සඳහා පිරිනැමෙන, අමෙරිකානු ජාතික සම්මානය ද නබකෝව්ට හිමිවුණි.)

‘ලොලිටා’ ගැන බොහෝ දේ ලියැවී ඇත. එය මනෝ විශ්ලේෂණාත්මක නවකතාවක් ලෙස ද සැලකේ. බොහෝ දෙනකු එය අගය කළේ අසභ්‍ය විය හැකිව තිබූ, එහෙත් අසභ්‍ය නොවන කතාවක් ලෙසිනි.

‘ලොලිටා’ නිසා නබකොව්ට අසාධාරණයක් ද සිදු විය. එනම් එය ලද කීර්තිය හමුවේ ඔහුගේ අනෙක් නිර්මාණ ‘පහළ රාක්කය’ට ඇදවැටීමය. මෑතකදී මට කියැවීමට ලැබුණු නබකෝව්ගේ (“Despair”) නිරපේක්ෂාව ද නවකතාකරුවකු වශයෙන් ඔහුගේ ආකර්ශනීය ආඛ්‍යාන ශෛලිය සහ පරිකල්පනය විදහා දක්වන ප්‍රබන්ධයකි. පිටු 205 කින් යුත් කුඩා නවකතාවක් වන එය, නබකෝව් ගේ සත්වන කෘතියයි. 1934 දී රුසියන් බසින් පළ වන සාහිත්‍ය සඟරාවක කොටස් වශයෙන් පළ වූ එම නවකතාව 1936 දී ග්‍රන්ථයක් වශයෙන් ප්‍රකාශ කෙරුණි. 1937 දී නබකෝව් විසින්ම ඉංග්‍රීසියට පරිවර්තනය කෙරුණු “ඩිස්පෙයාර්” එංගලන්තයේ දී ප්‍රකාශයට පත්වුණ ද, ඊට හොඳ ප්‍රතිචාරයක් (අලෙවියක්) නොලැබුණි. ප්‍රකාශකයා වෙත තිබූ “පොත්ගොඩ - දෙවෙනි ලෝක යුද සමයේදී, ජර්මන් බෝම්බ ප්‍රහාරයකින් විනාශයට පත් විය. එය නැවත මුද්‍රණය කෙරෙන්නේ 1965 දීය.

බ්‍රිතාන්‍ය විචාරකයකු වන මාර්ටින් ඇමිස්, “ඩිස්පෙයාර්” නවකතාව, නබකෝව්ගේ ප්‍රබන්ධ අතුරින් දෙවැනි තැනෙහි තැබුවේය.

මෙහි කතානායකයා (කථකයා ද ඔහුමය) වන හර්මන් කාලෝවිච්, ජර්මන් පෙ‍ළපතක් ඇති රුසියානුවෙකි. ඔහු චොකලට් නිෂ්පාදකයෙකි. ඔහුගේ බිරිඳ ලිඩියා, එතරම් සිහිකල්පනා‍වක් නැති, බොළඳ ගති පැවතුම් ඇති කාන්තාවකි. ඇයගේ මස්සිනා මෙන්ම කලකට ඉහත පෙම්වතාව ද සිටි ආර්ඩලියොන් ද ඔවුන් සමඟ වෙසෙයි.

හර්මන්, ප්‍රාග් නගරයට යන්නේ එහි තිබෙන සමාගමක් සමඟ එකතුව තම චොකලට් බෙදා හැරීමට කටයුතු යොදනු පිණිසය. එහි සිටින කාලයේදී හර්මන්ට, මඟ වැටී සිටින පුද්ගලයකු අහඹු ලෙස මුණගැසෙයි. ඔහුට දුම්වැටියක් ද පිරිනමන හර්මන් කතාවට වැටෙයි.

‍ෆීලික්ස් නමැති ඔහු අයාලේ යමින් සිටින රැකියා විරහිත පුද්ගලයෙකි. හර්මන් පුදුමයට පත් කරවන කාරණය වන්නේ, ඔහු ද පෙනුමින් තමාට බෙහෙවින් සමාන වීමය. ‍ෆීලික්ස්, තමාට රැකියාවක් සොයා දෙන මෙන් හර්මන්ගෙන් ඉල්ලීමක් කරයි.

“මට දැනට නම් උදව්වක් කරන්න බෑ... ඒත් මට තමුසෙගෙ එඩ්‍රස් එක දීල තියනවකො” හර්මන් කියයි.

ෆීලික්ස් සරදම් සිනාවක් පෑවේය.

“මට මන්දිරයක් නෑ... මං ඔය කොහේ හරි පිදුරු ගොඩක, බැංකුවක තමයි නිදාගන්නෙ.”

“එතකොට මං කොහොමද තමුසෙව හොයාගන්නෙ?”

“මම ලබන ගිම්හාන ඍතුව ගත කරන්නෙ, ගිය අවුරුද්දෙ පොඩි රස්සාවක් කරපු ගමේමයි. මං ඒකෙ තැපැල් කන්තෝරුවේ එඩ්‍රස් එක ලියල දෙන්නං.”

ලිපිනය ගත් පසු, ෆීලිකිස්ගෙ තොප්පිය තුළට ක්‍රවුන් දහයේ කාසියක් දමන හර්මන්, ඔහුගෙන් සමුගනී.

ප්‍රාග්හි නවාතැන් ගෙන සිටි හෝටල් කාමරයට ගියද, හර්මන් ඉදිරියෙහි මැවෙන්නේ ෆීලික්ස්මය. තමාගේම රූපය ඇති ‘ද්විත්ව මිනිසා’ය. එහෙත් මෙවර ඔහු පෙනී සිටින්නේ හොඳින් රැවුළ බෑ අනර්ඝ ඇඳුම් කට්ටලයකින් සැරසී චොකලට් සමාගමේ ලාංඡනය සහිත ටයිපටියක් ද පැළඳ ගත් වැදගත් මහත්මයකු ලෙසිනි. ඇත්තෙන්ම ඒ අන් කවරෙකුවත් නොව හර්මන්මය. කෙසේ වෙතත් මේ සිද්ධිය රහසක් ලෙස තබා ගැනීමට හර්මන් ඉටා ගනී.

අහඹු ලෙස හමුවූ ද්විත්ව රූපය හර්මන්ගේ ජීවිතයේ ඉතිරි අර්ධය පුරාම බලපායි. ව්‍යාපාරික වශයෙන් ද අසාර්ථක වන හර්මන්, ඉන් ගැළවීමට පිළියම් සොයයි. අවසානයේ ඔහු සැලසුම් කරන්නේ තම ‘සමානයා’ මරා දමා ඒ තමා යැයි ඔප්පු කර විශාල රක්ෂණ වන්දියක් ලබා ගැනීමටය. ඔහු ඒ සඳහා බිරිඳගේ සහ මස්සිනාගේ ද උපකාරය පතයි.

හර්මන් විසින්ම තම ‘සමානයා’ තම ‘අනෙකා’ වෙඩි තබා ඝාතනය කෙරෙයි. එහෙත් ඔහුගේ සැලසුම සාර්ථක නොවෙයි. පොලිසිය හර්මන් පසුපස ලුහුබඳින්නට වෙයි.

මෙම නවකතාව අවසන් වන්නේ පාඨකයා බලාපොරොත්තු නොවන ආකාරයේ, කිසියම් විකාරරූපී නොඑසේනම් හාස්‍යජනක ආකාරයකිනි.

හර්මන්, පැරිසියේ හෝටල් කාමරයක සැඟවී සිටී. හෝටලය ඉරිපස සෙනඟ රොක්වී සිටිනු ඔහු කවුළුවෙන් දකී. ඈතින් පොලිස් රථයක් ද පැමිණෙයි.

රැස්ව සිටින පිරිස අමතා කතාවක් පැවැත්වුවහොත් හොඳ යැයි ඔහු කල්පනා කරයි.

“ප්‍රංශ වැසියනි, මේක පුහුණුවීමක් පමණයි. තව ටිකකින් ප්‍රසිද්ධ චිත්‍රපට නළුවෙක්. මේ හෝටලයෙන් පිටතට එනවා. ඔහු භයානක අපරාධ කාරයෙක්. ඔහුට පළායාමට අවශ්‍යයි. ඒ සඳහා ඔබ ඉඩ දිය යුතුයි. බාධාවකින් තොරව පොලිස් භටයන්ට පහර දී ඔවුන්ගෙන් ඔහු බේරා ගත යුතුයි. මේක චිත්‍රපටයේ කතාවස්තුවේ කොටසක්. අපි හැමෝටම ගෙවනවා. පොලිස් භටයන්ටත් ගෙවනවා... මේක ජර්මන් සමාගමක නිෂ්පාදනයක්. කරුණාකරලා මගේ දුර්වල ප්‍රංශ උච්චාරණයට සමාවෙන්න. මගේ කාර්මික ශිල්පීන් සහ සන්නද්ධ උපදේශකයන් දැනටමත් ඔබ අතර සිටිනවා. කරුණාකරලා මාර්ගය ඉඩදෙන්න. දැන් මා පිටතට එනවා. ඔබ සැමට ස්තුතියි.

1978 දී සුප්‍රකට ජර්මන් සිනමාවේදී රෙයිනර් ෆැස්බින්ඩර් විසින් මෙම නවකතාව චිත්‍රපටයකට නඟන ලදී. එහි තිර නාටකය රචනා කරන ලද්දේ බ්‍රිතාන්‍ය නාට්‍යකරු ටොම් ස්ටොපාර්ඩ් විසිනි.

විචාරකයින්ට අනුව නබකෝව්ගේ නවකතාව අයත් වන්නේ, දොස්තයෙව්ස්කියානු නවකතා ශෛලියටය. එහි එන හර්මන් ද දොස්තයෙව්ස්කිගේ “අපරාධය සහ දඬුවම” නවකතාවේ එන රස්කොල්නිකොෆ්ට සමානය. දෙදෙනාම තම ආර්ථික ප්‍රශ්නවලින් ගැළවීමට මිනීමැරුමක් සැලසුම් කරයි.

ඒ හැරුණුවිට නබකෝව්ගේ කෘතිය පුරා පුෂ්කින්, ගොගොල් ඔස්කාර් වයිල්ඩ්, ටර්ගිනිෆ් කොනන් ඩොයිල් ආදීන්ගේ අන්තර් ග්‍රාන්ථික සබඳතාවක් (Intertextual Connection) දැකගත හැකිය.

නබකොව්, “ඩිස්පෙයාර්” ලියන්නේ “ලොලිටා” ට 20 වසරකට පෙරය. එහෙත් ඔහුව කියන ආකාරයට ලොලිටාවේ හම්බර්ට් සහ ‘ඩිස්පෙයාර්’ හි හර්මන් යනු එකම සිත්තරකු විසින් යුග දෙකකදී අඳිනු ලද මකරුන් දෙදෙනෙකි.

30 දශකයේදී පොතේ ප්‍රථම මුද්‍රණය අසාර්ථක වීම ගැන පසුව දුක් වූ නබකොව් මෙසේ කීය.

“එදා මගේ නවකතාව හරියට පැණි කුරුල්ලන් මැද්දට ගිය රයිනෝසිරසයෙක් වගේ...”

ඇත්තෙන්ම නබකෝව්ගේ “ඩිස්පෙයාර්” කල් ඉකුත් නොවන නවකතාවකි. එහි කතානායක හර්මන් ලෝකය පුරාම ගමන් කරමින් සිටී.

කපිල කුමාර කාලිංග

නව අදහස දක්වන්න