මගේ සිනා ඔබ අරගෙන ඔබේ කඳුළු මට දෙන්න | දිනමිණ

මගේ සිනා ඔබ අරගෙන ඔබේ කඳුළු මට දෙන්න

ජීවිතය යනු අභියෝග පිරුණු, අභියෝග ජයගන්නා, ඇතැම් අවස්ථාවක අභියෝග හමුවේ පරාජය පිළිගන්නට සිදුවන අත්දැකීම්වලින් බහුල වූවකි. අභියෝග හමුවේ ඒවා ජයගැනීම කෙසේ වෙතත් ඒවාට නොබියව මුහුණ දෙන්නට හැකිවීම වුව ජයග්‍රහණයක් නොවන්නේ ද කියා සිතුණු වාර බොහෝය. ළමා කාලයේ සිට තරුණ විය තෙක්, ඉන් පසුව කුටුම්බ ජීවිතය තුළ ද ජීවිතයේ අවසාන කාලය තෙක් අභියෝග සමග ජීවත් නොවන්නකු සොයාගැනීම දුර්ලභ අත්දැකීමක් වනු නොඅනුමානය. අධ්‍යාපනය, රැකියාව, ආදරය, විවාහය, කුටුම්භය, ලෙඩරෝග, ගුරු දෙගුරු නෑ හිතමිතුරු සබඳතා, ජීවිත කාලය පුරා ඉටු කළ යුතු වගකීම් හා යුතුකම් ආදී මෙකී නොකී සියලු අවස්ථාවක දී ම අපි අභියෝගවලට මුහුණ දෙන්නෙමු. දශක හතක මැද ජීවත්වන මා මුහුණ දී ඇති අභියෝග ලද ජයග්‍රහණ හා පරාජයන් පිළිබඳ විශාල මතක සම්භාරයක් මා සතුව තිබුණ ද ඒ මතක ගොන්න අකුරු කරන්නට කල්ප කාලයක් ගත වේ යයි සිතේ. එහෙත් වරින්වර මතකයට නැඟෙන අභියෝගවලට මුහුණ දීමේ ව්‍යායාමය තුළ ඉතා මෑතක දී මට මුහුණ දෙන්නට සිදු වූ හා ජයගත් අභියෝගයක තතු සොඳුරු මතකයක් ලෙස මෙලෙස ලියා තබන්නෙමි.

මා ඔබ සමග බෙදා හදා ගන්නට සැරසෙන අත්දැකීමට සමාන අත්දැකීම් කවදා හෝ කොතැනක දී හෝ ඔබත් අත්විඳ ඇති බව මට හොඳින්ම විශ්වාසය. එවන් අවස්ථාවක මුහුණ දුන් අභියෝග ජයගත් හෝ පරාජය වූ මතක අප සැමගේම ජීවිත තුළ සොඳුරු මතක ලෙස රැඳී ඇත්තේ වරින්වර දුක මෙන්ම සතුට ද හදවතට ළං කරමිනි. මා කැමතිම ගීත, ගායක ගායිකාවන්, නළු නිළියන් , මා කැමතිම නවකතා, කවි පොත්, මා කැමතිම චිත්‍රපට, වේදිකා නාට්‍ය, පුද්ගල චරිත, ක්‍රීඩකයන්, දේශපාලනඥයන්, ආගමික නායකයන් ආදී වශයෙන් තෝරා ගැනීමට ඉඩ හසර සලසමින් ඒ පිළිබඳ කතාබහ කරන්නට මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයෙන් ඇරැයුමක් ලැබෙන සෑම අවස්ථාවක්ම දුෂ්කර අභියෝගයක් වන බව කිව යුතු නොවේ. ඉතාම මෑත දිනෙක එවන් අභියෝගයක් හමුවේ මා අසරණ වූයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ නිවේදිකා, නිෂ්පාදිකා ඉනුෂා වීබැද්ද සොයුරියගෙන් ඇරැයුමක් ලද මොහොතේදීය. දිගු කාලයක් තිස්සේ ඈ විසින් සැලසුම් කොට නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කරනු ලබන විකසිත රෑ හත හෝරාවකුත් අඩක කාලයක් පුරා ප්‍රචාරය වන සජීවී වැඩ සටහනට ගී හතක් තෝරමින් කතාබහට එක්වීමට ඉනූෂා මට ඇරැයුම් කරන්නීය. මා සතුව ගුවන් විදුලි යන්ත්‍රයක් නොමැති බැවින් විකසිත රෑ හත කිසි දිනක අසා නැති බවත්, එහි සංයුතිය කවරාකාරදැයි නොදන්නා බවත් මම ඇයට කීවෙමි. සෑම බදාදාවකම රාත්‍රී 7.30-9.00 දක්වා සජීවීව ප්‍රචාරය වන සංවාදාත්මක වැඩ සටහන සඳහා මා කැමති ගීත හතක් තෝරා දීමෙන් අනතුරුව ඉනූෂා හා ආරාධිතයා අතර කෙරෙන සංවාදය සඳහා හෝරාවකුත් අඩක කාලයක් වෙන් වේ. පැය එකහමාරක කාලයක් තුළ ගී හතක් සමග කුමන කතාබහක්දැයි කල්පනා වූ මුත් ඇගේ දෙවන ඉල්ලීමෙන් මම තිගැස්සුණෙමි. විකසිත රෑ හතට ඇරයුම් ලබන ගේය කාව්‍ය රචකයා විසින් තෝරා දිය යුත්තේ ඔහු විසින්ම ලියූ ගී හතක් වීමය ඒ ඉල්ලීම. මවිසින් රචනා කරන ලද ගීත ගැන මා කුමක් කියන්න ද? මගේ විකල්ප යෝජනාවට ඉනූෂා ඉතා කාරුණිකව සවන් දී ඒ දුෂ්කර අභියෝගයෙන් මා මුදා ගත්තාය. මා ලියූ ගී වෙනුවට මා වඩාත් ආසාකරන රසවිඳි ගී හතක් පිළිබඳ කතාබහට ඈ එකඟ වූවාය. කෙසේ නමුත් ඉන් එක් ගීයක් පමණක් මගෙ රචනයක් ලෙස තෝරා දෙන්නට එකඟ වූයේ ඒ සඳහා වූ විශේෂ හේතුවක් නිසාය. එහෙත් දරුණුම අභියෝගය වූයේ ඉතිරි ගී හය තෝරා ගන්නේ කෙසේද යන්නය. අභියෝග හමුවේ පලා යන පුරුද්දක් මා සතු නොවූ බැවින් ඊට මුහුණ දුන්නෙමි. පෙබරවාරි 3 දා රාත්‍රි 7.30-9.00 දක්වා කාලය තුළ තෝරාගත් ගී හත ප්‍රචාරය කරන්නට අවශ්‍ය තරම් කාලය නොවූවත් විකසිත රෑ හත අභියෝගය ජය ගත්තෙමි.

ඉනූෂාගේ ආරාධිතයා පිළිබඳ ඈ සොයාගෙන තිබූ ඇතැම් තොරතුරු අතරට ආරාධිතයාගේ ළමා කලයේ මතක පවා ඇතුළත් වූයේ කෙසේදැයි ආරාධිතයාට ද අදහාගන්නට නොහැකි විය. වැඩ සටහන වෙනුවෙන් ඉනූෂාගේ පෙර සූදානම ඉතා ඉහළ මට්ටමක වූ බවයි මගේ පළමු නිරීක්ෂණය වූයේ. නන්දා මාලිනී ගේ තෝරාගත් ගීතයට අදාළ පරිකථා කියන්නට පෙර ඇයට පෙර අපගේ නිළි රැජින හා ගීත කෝකිලාව ලෙස විරුදාවලී ලත් රුක්මණී දේවිය පිළිබඳ සිහිපත් කළෙමි. නන්දා මාලිනී යනු අද දවසේ අපගේ ගීත කෝකිලාවිය හා ජාතියේ යශෝරාවය බව කීමට වඩා මගේ පළමු තේරීම පිළිබඳ විස්තර කීමට කාලය වෙන් කර ගත්තෙමි. ගායනයෙහි මතු නොව ගී තනු නිර්මාණයෙහි ඇගේ කුසලතාව සනාථ කෙරෙන එක් ගීයක් ලෙස මම මෙය හැඳින්වූවෙමි. නන්දා ශ්‍රී ලංකාවේ ප්‍රථම සංගීත අධ්‍යක්ෂවරිය යයි චන්දන ගුණවර්ධන විසින් 1997 දී ඉරිදා ලංකාදීපයට ලියූ ලිපියක සඳහන් කොට තිබිණ. ඇගේ ගී තනු නිර්මාණ කුසලතාවට සාක්ෂි සපයන මේ ගීත සිහි කරන්න. බුද්ධානුභාවේන, රන් ගිරි ගිරි ගිගිරි, මල් මල් හීනය, චන්ද්‍ර මඬුළු යට, මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි හා තවත් නිර්මාණ රැසක් ඇගේ තනුවලින් වර්ණවත් වී ඇති බව දනිමු. විකසිත ගී හත ආරම්භක ගීතය නන්දා මාලිනී ගේ ගායනා අතර මගේ සිත පැහැරගත් ගීතයක් වුව එය ජනප්‍රිය ගීතයක්දයි නොදනිමි. ආරියසිංහ පෙරේරා නම් ගේය කාව්‍ය රචකයකු පිළිබඳ අපට නිතර අසන්නට නොලැබුණ ද මේ රචනය ඔහු සතු අපූරු කවිත්වයක දීප්තිමත් සලකුණු සටහන් කරන්නකි. කවියෙහි දී භාවිත කෙරෙන රූපකාර්ථවත් භාෂාව පිළිබඳ මනා නිදසුනක් සපයන්නකි මේ ගේය කාව්‍ය රචනය.

මගේ සිනා ඔබ අරගෙන

ඔබේ කඳුළු මට දීලා

පාළු නුවර මා තනිකොට

මතක සිහින පොදි බැඳගෙන

ඔබ කොතැනද සැඟවී ඉන්නේ

කියාගන්න බැරි දුක මම කාට කියන්නේ

පෙම්වතියකගේ වැලැපීමක් නොවන එහෙත් බිඳුණු ආදරයක් පිළිබඳ කියැවෙන සංවේදී දුක් ගැනවිල්ලකි මේ.

අහස දැවී වියරු වැටී

ළසෝ දුකින් තරු වැලපී

නිදිබර ඇස් මඟ රැඳිලා

ඔබ එනතුරු සිටියා

ප්‍රාර්ථනා තරු අතරේ

සොඳුරු මගේ ලොව ඇවිලේ

මගේ සිනා මට දීලා

ගෙන යන්න කඳුළු නොතියා

දැවී වියරු වැටුනු අහස, ළසෝ දුකින් වැලැපෙන තරු, මග බලා සිටින නිදිබර ඇස්, ප්‍රාර්ථනා තරු, කවියාගේ සංකල්ප රූප පිරුණු කාව්‍යොක්ති සහිත බස පිළිබඳ අපූරු චිත්‍රයක් මවන මොහොතකි. ගේය කාව්‍ය රචනයෙන් ඉල්ලා සිටිනු ලබන ශෝකී ස්වරය නන්දා මාලිනී ගේ හඬින් ප්‍රතිනිර්මාණය වන්නේ ශ්‍රාවක හද සියුම් රිදුමක් ද ඇති කරවමිනි. අත්දැකීමට උචිත ළයාන්විත ස්වරය ඈ සතුය. ඇගේ ගී තනුව ගේය කාව්‍ය රචකයා අපේක්ෂා කළ බිඳුණු ආදරයේ වේදනාව ශ්‍රාවක සිත්හි වඩවාලයි. ගී හතක අභියෝගය තුළ එච්.ආර්.ජෝතිපාලගේ ගේ ගීයක් ඇතුළත් නොකිරීමට කිසිදු හේතුවක් මට සොයා ගැනීමට නොහැකි විය. මෙරට ජනප්‍රියම ගායකයා ලෙස ජෝතිපාලගේ නම සමග බැඳුණු ගීතාවලියේ හමුවන සුන්දර චිත්‍රපට පෙම් ගීතයක් වූ ආදර මල් පවනේ ඈ යන මේ ගමනේ මගේ දෙවන ගීතය විය. ගේය කාව්‍ය රචක ධර්මසිරි ගමගේ නම් වූ සුන්දර මිනිසා පිළිබඳ අතීත ස්මරණ අතරට ඉනුෂා මා කැඳවාගෙන ගියාය. වනස්පතියක් බඳු ඔහු සෙවණෙහි අපගෙ නිර්මාණ කුසලතා ඔප් නැංවුණු අයුරු සිහිපත් විය. දුලීකා චිත්‍රපටයේ විජය කුමාරතුංග, බියුලා ඩයස් ගේ රංගන සමග ප්‍රෙමසිරි කේමදසගේ සංගීතයට ජෝතිගේ මධුර ස්වරය මුසුවීමෙන් එළි දුටු අපූරු ගීතයක් වූ බැවින් විකසිත ගී හතට එය ඇතුළත් විණ.

ජෝතිගේ මධුර ස්වරය අමත කළ නොහැකි නම් වික්ටර්ගේ රන් ස්වරය කෙසේ අමතක කළ හැකිවේ ද? සරත් දසනායකගේ මධුර තනුව හා සංගීතයෙන් පෝෂණය වූ යෞවනයේ ප්‍රේමාන්විත ස්වරය සතු වූ වික්ටර් රත්නායකගේ පසුබිම් ගායනයෙන් විචිත්‍ර වූ ටෝනි රණසිංහ නම් වූ සුකුමාර පෙම්වතාගේ රංගනය ඇතුළත් දිනුම් කණුව චිත්‍රපට රූප රාමුව මතකයෙන් ඈත් නොවන්නකි. ගේය කාව්‍ය රචනය පුරා භාවිත උත්ප්‍රාසාත්මක වදන් අපට පවසන්නේ ප්‍රේමකීර්ති ද අල්විස් නම් විශිෂ්ටයාගේ නිර්මාණශීලීත්වයයි. ඔබේ ආදරය වෙනුවෙන් මට නොකළ හැක්කේ කුමක් ද?

පිනි බිඳකින් මුතු අමුණමි

දිනිසුරුගෙන් සීතල දෙමි

කටු අකුලෙහි මල් පුබුදමි

ඔබ හිනැහේ නම්

මියුරු කල්පනා නෙතක දැල්වුණා

අමයුරු රස හසකැන් මැද

සිතක් හිනැහුණා

වරෙක හිනැහුණා වරෙක ළතැවුණා

නුපුරුදු ගිනි දහසක් මැද

සිතක් මැලවුණා

විකසිත රෑ හත අභියෝගයට මුහුණ දෙමින් මගේ නොවන මගේම ගීතයක් මවිසින් තෝරා ගන්නා ලද්දෙ අප අතරින් මෑත කාලයේ වියෝ වූ ළබැඳි යෙහෙළිය අනුලා බුලත්සිංහල වෙනුවෙනි. මවිසින් ඇයට රචනා කළ සුදු ඔසරිය ඇඳලා ගීතය අනුලාගේ සරල ගී ගායනයෙහි සොඳුරු නිර්මාණයක් ලෙස ශ්‍රාවකයෝ දැක තිබිණ. මල්සර දුනු හී නොවැදි යෞවනියකගේ විවාහාපෙක්ෂාව අනුලා තම මධුර හඬින් අර්ථ ගන්වන්නී එවැන්නියකගේ සිතෙහි නිරතුරුව ඇඳෙන සිහිනයක විලාසයෙනි.

සුදු ඔසරිය ඇඳලා

සුදුමුතුපොට බැඳලා

සුදු මල් පියවිල්ලේ

කවදද මා යන්නේ

රන්මිණි අබරණ කෝ පට සළු

නැත මට දායාදේ

කඳුළක රස දැනෙනා හදක් ඇත

වෙන් වූ නමින් ඔබේ

රෑ හීනෙන් දකිනා ඔබේ රුව

හදවත ඇඳගනිමී

උදෑසනින් බිඳිලා සිහින ලොව

තනිවම ඉකි බිඳිමී

අනුලා මෙන්ම ගීතයට අපූරු තනුවක් හා සංගීත නිර්මාණයෙන් දායක වූ අප අතර නොමති ගුණදාස කපුගේ සහෘදයා ද විකසිත රෑ හත මතකයට එක්වුණේ අනුලාගේ ගීතය සමගිනි. අනුලාගේ මතකයෙන් පසු ගී හතට පිවිසෙන්නී දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මිතුරියගේ මධුර කට හඬයි. කෙළිලොල් දඟකාර පෙම්වතියකගේ ගති සොබා සිහියට නංවන ස්වරයකින් ඈ ගැයූ මේ ගීතය මගේ සිත සොරාගෙන ඇත්තේ එම රචනයෙහි ගඹුරට වඩා ගායනාවෙහි බුහුටි බව නිසාම යයි සිතේ. බැලූ බැල්මට කුමාර කවිරාජ ගේය කාව්‍ය රචකයාගේ නිර්මාණය බොළඳ රචනයක් සේ පෙනුණ ද දීපිකා විසින් ඊට නව අරුතක් එක් කරමින් ගීතයේ කතා නායිකාවගේ මුවට නංවන ඇතැම් ප්‍රකාශයක් ශ්‍රාවක සිතට සමීප කරවන්නේ ළඳ බොළඳ කෙල්ලකගේ දඟකාර කතාබහයි.

විකසිත හසරැලි

මුකුලිත වෙනකොට

බලා ඉන්න ආසයි

යාන්තමට වගෙ හිත රිදවන්නට

විහිළු කරන්නම් මං

හා .. හා.. තරහවෙන්න තහනම්...

ආලවදන් පිරි පෙම්පත් ලැබුනම

සෙනෙහස උතුරන හිත රිදවෙන්නට

පිළිතුරු නොලියා දින තුන හතරක්

පමා කරන්නම් මං

හා... හා... තරහවෙන්න තහනම්...

හා හා තරහ වෙන්න තහනම්.. යයි දීපිකා ගායනා නොකරන්නීය.

ඈ පෙම්වතාට මෙසේ පවසන්නීය. හා හා ඕන්න තරහ වෙන්න එහෙම බෑ වැනි අර්ථයක් නොවෙද දීපිකාගේ ස්වරයෙන් අපට ඇසෙන්නේ? විකසිත රෑ හත සරසන්නට මට ඉතිරි වී තිබුණේ තවත් ගීත දෙකක් සඳහා කාලයක් පමණි. අබේවර්ධන බාලසූරිය ගායනා කළ සුනිල් ආරියරත්නගේ ගේය කාව්‍ය සංකල්පනාව, ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ හා මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු ලියූ ප්‍රේමසිරි කේමදාසගේ සංගීතය හා තනුවට සනත් නන්දසිරි ගායනා කළ ඉරා අඳුරුපට චිත්‍රපට ගී සංකල්පනාව අවසාන තේරීම වූවත් ඉරා අඳුරුපට වාදනය වන්නට පෙර හෝරාවකුත් අඩක් නොදැනීම ගෙවුණු බැවින් රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් පසුව සනත් නන්දසිරිගේ ඉල්ලීමට සවන් දෙන්නට ඉඩ හසර සැලසිණ.

ඇගෙන් තොර ලෝකයක්, මාවතක් , හීනයක් , ගීතයක් නොමැති පෙම්වතාට සියලු තන්හි පෙනෙන්නේ ඇගේ රුවමය. ඇසෙන්නේ ඇගේ කටහඬ පමණි.

ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ

ඔබෙන් තොර හීනයක්

ඔබෙන් තොර මාවතක්

ඔබෙන් තොර ගීතයක් කොයින්දෝ

අබේවර්ධන බාලසූරිය සුමිතුරු පිළිබඳ අතීතාවර්ජනයකට සුනිල් ගේ ගීතය මට ලබා දුන් විරල අවස්ථාව පිලිබඳ ඉනූෂා හට ස්තුතිවන්ත වීමි. ඔහුගෙ අකල් වියොව දඩිව දනෙන්නේ ඔහු විසින් ගායනා කරන ලද මෙවන් ගීතයක් රස විඳින මොහොතකය. විකසිත රෑ හත හත්වන ගීතය රාත්‍රී නවයට පෙර ප්‍රචාරය නොවූවත්, ශ්‍රාවක අපේක්ෂා බිඳ නොදමමින් එය ප්‍රවෘත්තිවලින් පසුව අසන්නට සලස්වා තිබිණ. සනත් නන්දසිරි, ප්‍රෙමසිරි කේමදාස, චන්ද්‍රසිරි පල්ලියගුරු සුසංයෝගයේ මිහිරි මතකයක් ලෙස තරුණයන්ගේ සිනමාව සංකේතවත් කළ ධර්මසේන පතිරාජගේ අහස් ගව්ව වෙතට ළංවද්දී සනත්ගේ ඇරැයුම අපට අසුණි. එන්න මගේ පිය මිතුරන් යයි ඉල්ලා සිටි බොහෝ දෙනා අප හැර ගොසිනි. පතී, කේමදාස මාස්ටර්, විජේ,කොස්තා, බෝගොඩ, අහංගම, බන්දුල සුන්දර මතක පමණි.

ඉරා අඳුරු පට පෙරදිග අහසේ

පොකුරු පොකුරු තරු නිවී යන්ට පෙර

අරුණළු උදයේ දිලිසෙන පිනි මත

පියමං කරමින්

අහස්ගව්වටයි ළංවන්නේ

විකසිත රෑ හත අවසන් විනාඩි කීපයේ දී මතකයට නැගුණු සහෘද සමාගමය මෙරට බොහෝ කලා ක්ෂෙත්‍ර කිහිපයකම දැවන්තයන්ගෙන් සැදුණකි. කේමදාස මාස්ටර්, පතී, විජය ඒ අතර සදානුස්මරණීය සුන්දර නිර්මාණකරුවන්ය. විකසිත රෑ හත වර්ණවත් කරන මොහොතේ ඔවුන් පිළිබඳ මතක ලොවට යන්නට ඉඩ ලබා දුන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉනුෂා වීබැද්ද සොයුරියට ස්තුතියි කියා සමු ගනිමි.

 

බුද්ධදාස ගලප්පත්ති

 

 

නව අදහස දක්වන්න