හදවත් ගැස්ම වැඩි කළ ඔක්සිජන් අර්බුදය | දිනමිණ

හදවත් ගැස්ම වැඩි කළ ඔක්සිජන් අර්බුදය

මෙරට දෛනික ඔක්සිජන් නිෂ්පාදන හැකියාව ලීටර් 67,000 ක් පමණ වන අතර දෛනික සායනික ඔක්සිජන් අවශ්‍යතාවය ලීටර් 22,000 ක් පමණ වෙතැයි ගණන් බලා ඇත. නමුත් මෙම කොරෝනා වසංගතය නිසා වැඩි වන රෝගීන් හමුවේ මෙම දෛනික සායනික ඔක්සිජන් ප්‍රමාණය මෙන්ම ICU ඇඳන් ප්‍රමාණය ද ප්‍රමාණවත් නොවනු ඇත.

 

මේ දිනවල ලෝකයේම කාගේත් ප්‍රධානතම මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ඔක්සිජන්ය. ඊට හේතුව වන්නේ ගෝලීය ව්‍යසනයක් බවට පත්ව ඇති කොවිඩ් 19 වසංගතයේ නව ප්‍රභේදයන් ව්‍යාප්ත වෙමින් ශ්‍රී ලංකාව ද ඇතුළු ලෝකයේ බොහොමයක් රටවල් දැඩි ලෙස අසරණභාවයට පත්ව තිබීමය. උදාහරණයක් ලෙස අසල්වැසි ඉන්දියාවේ ජනතාව කොව්ඩ් ආසාදනය වීම නිසා ශ්වසන අපහසුතා උත්සන්න වීමෙන් ඔක්සිජන් නොමැතිව මහ මඟ පවා මරණයට පත් වන අවස්ථා මේ දිනවල ඉතා සුලබය. ශ්‍රී ලංකාවට ද නුදුරේදීම මෙවැනිම ආකාරයේ ඔක්සිජන් හිඟතාවකට මුහුණ දීමට සිදු වනු ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. ඔක්සිජන් පරිසරයට එකතු වන්නේ කෙසේ ද? ඔක්සිජන් සෑදෙනුයේ කිනම් ආකාරයට ද යන්න ලොකු, පොඩි සැවොම දන්නා කරුණකි.

ගහ-කොළ, සතා-සීපාවා හා මිනිසා ඇතුළු සැමටම නැතිවම බැරි සාධකයක් ලෙස ඔක්සිජන් හැඳින්විය හැකිය. එහෙත් ඔක්සිජන් නොමැතිව ජිවත් විය හැකි ජිවීන් ද මෙම පෘථිවිය මත සිටී. ඔවුන් පෘථිවියේ ජිවය ආරම්භය වූ අදින් වසර මිලියන 3600කට පමණ පෙර සිටම පැවත එන්නන් වේ. නමුත් සමස්තයක් ලෙස ගත් කල සූන්‍යෂ්ටික හෙවත් සංවිධානය වූ න්‍යෂ්ටියක් සහිත ඒක සෛලික මෙන්ම බහු සෛලික ජීවීන්ගේ පැවැත්මට ඉතාමත්ම වැදගත් සාධකය වන්නේ ඔක්සිජන්ය. මෙම ජීවීන්ගේ දේහ ක්‍රියාවලිය පවත්වා ගැනීමට නැතහොත් පරිවෘත්තීය ප්‍රතික්‍රියා සිදු කර ගැනීමට අවශ්‍ය ශක්තිය ලබා ගැනීම සඳහා ද්‍රව්‍ය බිඳ හෙළිමට මෙන්ම ද්‍රව්‍ය ගොඩනැඟීමට සිදු වන අතර එම බොහෝමයක් ක්‍රියා සෛලය තුළ සිදු වේ. එම ක්‍රියාවලිය සෛලීය ශ්වසනය ලෙස ද හඳුන්වනු ලබයි.

මෙම සෛලීය ශ්වසනය සඳහා අවශ්‍ය ඔක්සිජන් ඒක සෛලික සූන්‍යෂ්ටික ජීවීන් සරල විසරණය මඟින් දේහ පෘෂ්ඨය ඔස්සේ ලබා ගනී. නමුත් සංකීර්ණ බහු සෛලික ජීවීන් හට එම සරල විසරණ ක්‍රියාවලිය පමණක් ප්‍රමාණවත් නොවන බැවින් සෛලිය ස්වසනය අත්‍යවශ්‍ය වනවා ඇත. එහිදී අවශ්‍ය ශක්තිය නිපදවා ගැනීමට ඔක්සිජන් දේහයේ සෑම සෛලයකටම ගමන් කළ යුතුව ඇත. එම ගමන් කිරීම සඳහා පරිවහන මාධ්‍යයක් ලෙස බොහෝමයක් බහු සෛලිකයන්හි රුධිරය පවතී. රුධිරය තුළින් මෙම ඔක්සිජන් රැගෙන යෑමට විවිධ වූ වර්ණකයන් හෙවත් ඔක්සිජන් රැගෙන යෑමට ඔක්සිජන් සමඟ බැඳීමේ හැකියාව ඇති රසායනික ද්‍රව්‍යයන් රුධිරයේ අන්තර්ගත වේ. උදාහරණ ලෙස හිමෝග්ලොබින්, මයෝග්ලොබින්, ක්ලෝරෝක්රූවොරින්, හීමොසයනීන්, හීමෝඑරිත්‍රින් යනාදිය දැක්විය හැකිය.

 

මිනිසාගේ ශ්වසන වර්ණකය

මිනිසාගේ ශ්වසන වර්ණකය ලෙස වැදගත් වන්නේ හිමොග්ලොබින්ය. දේහයේ සෑම සෛලයකටම රුධිරය ඔස්සේ පෙණහළුවල සිට ඔක්සිජන් රැගෙන යෑම මෙමඟින් සිදු කරයි. හිමොග්ලොබින් සමඟ ඔක්සිජන් බැඳී යෑමෙන් ඔක්සිහිමෝග්ලොබින් නම් අස්ථායි සංයෝගය තැනෙන අතර එය රුධිරය ඔස්සේ පරිවහනය වී සෛලයන් මතදී බිඳ හෙළී අනතුරුව ඔක්සිජන් හා හිමෝග්ලොබින් වෙන් වේ. නමුත් සමහර වායුන් වර්ග වන කාබන් මොනොක්සයිඩ් යනාදිය හිමෝග්ලොබින් සමඟ සම්බන්ධ වී ස්ථායි සංයෝගයක් වන කාබොක්සිහිමොග්ලොබින් තනනු ලබයි. එය සෛලයන් මතදී හිමෝග්ලොබින් ලෙස වෙන් නොවී පවතින නිසා සෛලීය ශ්වසනය සිදු කළ නොහැකිව එවැනි අවස්ථාවලදී මිනිසා විසඥතාවයට පත් වී ප්‍රතිකාර නොලදහොත් මිය යන තත්ත්වයට පත් වේ. ගිනි ගන්නා ස්ථානවලට දීර්ඝ කාලයක් මිනිසා නිරාවරණය වුව හොත් මෙම තත්ත්වයට මුහුණ දීමට සිදුවනු ඇත. අපගේ සෛලයන්වලට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය නිසියාකාරව නොලැබුණ හොත් එම සෛලයන්හි නිර්වායු ශ්වසනය සිදු කරමින් ලැක්ටික් අම්ලය නිපදවීම සිදු කරනු ලබයි. එමඟින් අපගේ පේෂීන්ගේ ස්නායු හා සම්බන්ධ ස්ථාන සිර කරවීමෙන් ශරීරයේ මාංශ පේෂීන්ගේ කෙණ්ඩ පෙරලීම වැනි ක්‍රියාවන් ඇති වේ. එය දීර්ඝකාලීනව පැවතුණ හොත් විසඥතාවය ඇති වී මිය යා හැකිය.

 

ඔක්සිජන් නැතිව මිනිසකුට ජීවත්විය හැකි කාලය

ඔක්සිජන් රහිතව මිනිසකුගේ දේහ සෛලවලට ජීවත්විය හැකි කාලය සැලකුව හොත් මොළයේ සෛලවලට එය විනාඩි 4-6 අතර කාලයකි. එම කාලය තුළ මොළයේ සෛල මිය යනවා ඇත. එය ආරම්භ වී තත්පර 10 කදී එම පුද්ගලයාට දැනීම නැතිවී ඔහු මිය යා හැකිය. විනාඩි 10 කට පසු දැඩි ස්නායු ආබාධයක් ඇතිවීම එම තැනැත්තාට උරුමය. මෙම කාලයට ප්‍රථම එම තැනැත්තාට නැවත ඔක්සිජන් ලබා දුන හොත් ඔහුගේ දේහ ක්‍රියාකාරිත්වය ආරම්භ විය හැකිය. එබැවින් කිසියම් තැනැත්තකු ඔක්සිජන් හිඟකමෙන් අපහසුතාවට පත්ව ඇති විට ඔහුව ජීවත් කරවීමට නම් අනිවාර්යයෙන්ම විනාඩි 10 ක කාලසීමාවකදී ක්‍රියාත්මක වී ඔහුට ඔක්සිජන් කෘත්‍රිමව සපයා දිය යුතුය. එය CPR (Cardio pulmonary Resuscitation) ලෙස හඳුන්වයි. ඉතාමත්ම ඉක්මනින් මිය යන්නේ මිනිසාගේ මොළය වන අතර හෘදය පැය 4-6 අතර ද, අග්න්‍යාශය පැය 12-24 අතර ද, අක්මාව පැය 24 අතර ද, වකුගඩු පැය 48-72 අතර ද කාලයකදී මිය යනවා ඇත. එබැවින් කිසියම් තැනැත්තකුගේ මොළය මිය ගිය හොත් ඉහත කාලයන්ට ප්‍රථමයෙන් ඔහුගේ එම අවයව වෙනත් තැනැත්තෙකු වෙනුවෙන් බද්ධ කිරීම සඳහා ලබා දිය හැකිය.

 

නියුමෝනියාව හා කොරෝනා

නියුමෝනියාව යනු ඉතාමත් දරුණු පෙණහලුු රෝගයකි. එය ප්‍රධාන වශයෙන්ම බැක්ටීරියා වයිරසය හා දිලීර මඟින් හටගන්නා අතර එමඟින් පෙනහලුවල ඇති වාතකෝෂ හෙවත් ‘ගර්ථ’ වල තරලය පිරීම ඇති කරවයි. එවැනි තත්ත්වයකදී එම පුද්ගලයන් රෝහල්ගත කර ඔක්සිජන් ලබා දීම හෝ ඔවුන් සංවාතනය කිරීමට ලක් කළ යුතුය. කොරෝනා වයිරසය මඟින් එය වැලඳුණු තැනැත්තන්ගේ පෙනහළු දෙකටම මෙය සිදු කරවනු ලබයි.

 

කෘත්‍රිම ඔක්සිජන් නිපදවීම

විශේෂයෙන්ම ඔක්සිජන් අඩු තැනැත්තන්ට දීමට වාණිජ වශයෙන් නිපදවන ඔක්සිජන් රෝහල්වල පවතී. එම ඔක්සිජන් කිසියම් ඔක්සිජන් හිඟයකින් පෙළෙන රෝගීන් සඳහා සාමාන්‍ය ආකාරයට මුඛ ආවරණයක් (Face Mask) මඟින් ලබා දිය හැකිය. නමුත් ඇතැම් කොරෝනා ආසාදිත රෝගීන්ට එවැනි ඔක්සිජන් ලබා දීම ප්‍රමාණවත් නොවන අතර ඔවුන් දැඩි සත්කාර ඒකක (ICU) තුළ සංවාතනය (Ventilate) කළ යුතුය. ඒ සඳහා විශේෂයෙන් සකස් කරන ලද ICU ඇඳන් අවශ්‍ය වන අතර අද වන විට මෙම කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඉන්දියාව දැඩි ඔක්සිජන් හිඟයක සිර වී ඇත. එම නිසා මිනිසුන් දස දහස් ගණනින් දිනකට මිය යන බව පෙනෙන්නට තිබේ. වෙළෙඳපොළේ පවතින ඔක්සිජන් හිඟයක් ද එරට පවතී. එමෙන්ම ‍එරට රෝහල්වල මෙම සායනික ඔක්සිජන් හිඟය දැඩිව බලපා ඇති නිසා මෙසේ අධික ලෙස කොරෝනා ආසාදනය වීමෙන් මිනිසුන් මිය යනු ලබයි.

වාණිජ ලෙස ඔක්සිජන් නිපදවීම ක්‍රම කිහිපයකින් සිදු කරනු ලබන අතර “ක්‍රයොණික් ආසවනය” හෝ “රික්තක අවශෝෂණ” ක්‍රියාවලිය මඟින් හෝ ජලයේ විද්යුත් වි‍ච්ඡේදනය භාවිත වන ප්‍රධාන ක්‍රමයන් වේ.

 

ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් සඳහා සායනික ඔක්සිජන්

ප්‍රමාණවත් ද?

මෙරට දෛනික ඔක්සිජන් නිෂ්පාදන හැකියාව ලීටර් 67,000 ක් පමණ වන අතර දෛනික සායනික ඔක්සිජන් අවශ්‍යතාවය ලීටර් 22,000 ක් පමණ වෙතැයි ගණන් බලා ඇත. නමුත් මෙම කොරෝනා වසංගතය නිසා වැඩි වන රෝගීන් හමුවේ මෙම දෛනික සායනික ඔක්සිජන් ප්‍රමාණය මෙන්ම ICU ඇඳන් ප්‍රමාණය ද ප්‍රමාණවත් නොවනු ඇත.

එහෙත් මෙරට ඔක්සිජන් නිපදවන සමාගම් මඟින් අවශ්‍යතාවය අනුව දෛනික ඔක්සිජන් සැපයුම තුන් ගුණයක් දක්වා වැඩි කළ හැකි බව ප්‍රකාශ කර ඇත. එසේ වුව හොත් අපට ඔක්සිජන්වල හිඟයක් ඇති නොවනු ඇත. නමුත් මෙම රෝගයේ ශීඝ්‍ර ව්‍යාප්තිය නිසාත් එම ප්‍රභේදය මඟින් බොහෝමයක් රෝගීන් ක්ෂණයකින් නියුමෝනියා රෝගීන් බවට පත් වන නිසාත් ඉන්දියාව මෙන් ශ්‍රී ලංකාවට ද, සායනික ඔක්සිජන් ප්‍රමාණවත් නොවනු ඇත. එබැවින් "මුහුදට හත්ගව්වක් දුර තිබියදී අමුඩය ගැසිය යුතු නැතැයි” යන ප්‍රස්ථා පිරුළ අතහැර ඉහළ ඔක්සිජන් ඉල්ලුමක් පවතින මෙවැනි කාලපරිච්ඡේදයක් තුළ මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය ද ආධාර කරගෙන හැකි තරම් ඔක්සිජන් ගබඩා කර ගත හොත් එය අපට වාසිදායක වනු ඇත. එමඟින් පහසුවෙන් ඕනෑම කෙනෙකුට අවශ්‍ය වූ විට මුවට ඔක්සිජන් දිය හැකි පරිදි නවතම ආකාරයකට එය පැකට් ලෙස හෝ ගබඩා කර ලබා දිය හැකි වේ නම් එය වසංගතයේ උච්ච අවස්ථාවේදී කළ යුතු කාර්යය වේ. එමෙන්ම නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් මෙම වසංගතයෙන් ගැලවීමට උත්සාහ දැරිය යුතු වේ.

 

චතුමී පිටිපන

නව අදහස දක්වන්න