බැඳුම්කර නඩුව ජූනි 7 දා කැඳවයි | දිනමිණ

බැඳුම්කර නඩුව ජූනි 7 දා කැඳවයි

රෝෂන් තුෂාර

යහපාලන රජය සමයේදී කළ ආන්දෝලනාත්මක ශ්‍රී ලංකා මහ බැංකු පළමු බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් මිලියන 688කට අධික පාඩුවක් කරමින් මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා යටතේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුව ජූනි 7 දින කැඳවීමට ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය ඊයේ (5) නියෝග කළේය.

මේ නඩුව චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ විභාග කෙරේ.

මේ නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වන පත්තිනිගේ සමරසිරි, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම, එම සමාගමේ හිමිකරුවන් වන ජෙෆ්රි ඇලෝසියස් සහ අර්ජුන් ඇලෝසියස්, එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන සහ සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ මිත්‍ර ගුණවර්ධන, රන්ජන් හුළුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවා යන අය නම් කර ඇත. 2015 වසරේ පෙබරවාරි මස 27 වැනිදා කළ බැඳුම්කර වෙන්දේසියට අදාළව රුපියල් මිලියන 688කට ආසන්න භාණ්ඩාගාර බැඳුම්කර වංක සාවද්‍ය පරිහරණය කිරීමත්, පොදු දේපළ පනතේ 5 (1) වගන්තිය යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මේ නඩුව ගොනු කර තිබේ. පවතින කොවිඩ් වයිරස් ව්‍යප්තිය හේතුවෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙන චක්‍රලේඛය ප්‍රකාරව මේ නඩුව ජූනි මස 7 වැනිදා දක්වා කල් තැබීමට විනිසුරු මඬුල්ල නියම කළ බව එම අධිකරණයේ ලේඛකාධිකාරි විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.

නව අදහස දක්වන්න