මරණ දඬුවම ඉවත දමන්නැයි ඉල්ලා ගොනු කළ අභියාචන පෙත්සමක් අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි | දිනමිණ

මරණ දඬුවම ඉවත දමන්නැයි ඉල්ලා ගොනු කළ අභියාචන පෙත්සමක් අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි

නෙල්කා මැදගෙදර

ජූරි සභාවක් ලබා ගන්නවාද? නැත්ද? යන්න පිළිබද තීරණ ගැනීමට නඩු විභාගය ආරම්භයේදී රත්නපුර මහාධිකරණ විනිසුරුවරයා තමන්ට අවස්ථාව නොදී නීතීයට පටහැනිව නඩු විභාගය පවත්වා ඇති බැවින් තමන්ට නියම කළ මරණ දඩුවම ඉවත දමන ලෙස ඉල්ලා පුද්ගලයකු ගොනු කර තිබූ අභියාචන පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර ඇත.

මහාධිකරණ විනිසුරුවරයා අදාළ වරද විත්තියේ නීතීඥවරයා‌ගේ එකඟත්වයෙන් නිවැරදි කර ඇති බැවින්, විත්තිකරුට දුන් මරණ දඩුවම නිවැරදි බවත්, ඒ අනුව අභියාචනය නිෂ්ප්‍රභ කරන බව ඉකුත් අප්‍රේල් මස 29 වැනිදා දෙන ලද මේ අභියාචනාධිකරණ තීන්දුවේ සඳහන් වේ.

රත්නපුර මහාධිකරණය විසින් මරණ දඩුවම් නියම කිරීමට එරෙහිව කුරුකුලගේ සරත් කුමාර නැමැත්තා විසින් ගොනු කර ඇති මේ පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපති නම් කර තිබුණි.

අභියාචනාධිකරණ විනිසුරු සම්පත් බී. අබේකෝන් මහතාගේ එකඟතාව සහිතව අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මේ නඩු තීන්දුව ලබා දී ඇත.

එම තීන්දුවේ මෙසේද සඳහන් වේ.

අධිකරණ පනතේ 11 වැනි ඡේදය යටතේ නඩු විභාගය ආරම්භ වීමට ප්‍රථම ජූරි සභාවක් අවශ්‍යද? නැද්ද? යන්න පිළිබඳ විත්තිකරුගෙන් විමසා ඊට අවස්ථාව ලබා නොදීමෙන් මහාධිකරණ විනිසුරුවරයා විසින් නීතියට පටහැනිව කටයුතු කොට ඇතැයි විත්තිකාර අභියාචකගේ නීතීඥවරයා පෙත්සම් විභාගයේදී අභියාචනාධිකරණයට දැනුම් දී ඇත.

මහාධිකරණ විනිසුරුවරයාගේ තීන්දුව නීතියට පටහැනි බැවින් විත්තිකාර අභියාචකගේ මරණ දඩුවම අහෝසි කොට ඔහු නිදොස් කොට නිදහස් කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා ඇත.

මේ පිළිබඳ කරුණු දක්වමින් නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය කියා සිටින්නේ 2019 මාර්තු 26 වැනිදා මේ වරද පිළිබඳ රජයේ නීතීඥවරයා මහාධිකරණ විනිසුරුවරයාට දැනුම් දුන් අතර, ඒ අනුව එම වරද විත්තිකාර අභියාචක නීතීඥවරයාගේ එකඟත්වයෙන් නිවැරදි කළ බවත්ය.ඒ අනුව විත්තිකාර අභියාචකගේ තර්කය පදනම් විරහිත බව ඇය සඳහන් කළාය.

එබැවින් විත්තිකාර අභියාචකගේ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

2019 මාර්තු 26 වැනිදා මහාධිකරණ නඩු වාර්තාවේ සටහන් පරීක්ෂා කිරීමේදී මෙසේ සඳහන් වේ.මේ නඩුවේ නඩු විභාගය 2006 අගෝස්තු16 වැනි දින පූර්වගාමී මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඉදිරියේ නඩු කටයුතු ආරම්භ කර ඇති නමුත් , එදින ජූරි සභාවක් සහිතව හෝ රහිතව නඩු විභාගයට ගන්නේද යන්න පිළිබද සටහනක් නැති අතර , ඒ සම්බන්ධයෙන් රජයේ නීතීඥවරිය අධිකරණයේ අවධානය යොමු කර ඇත.

ඒ අනුව අධිකරණය මේ නඩු වාර්තා පරීක්ෂා කිරීමේදී ජූරි සභාවක් සහිතව ද හෝ රහිතවද යන්න පිළිබඳ සටහනක් නොමැති බවට අනාවරණය විය.

මේ අවස්ථාවේ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය පවසා ඇත්තේ ජූරි සභාවක් රහිතව නඩු විභාගයක් ගැනීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බවත් , එය නඩු විභාගය ආරම්භයේදී යොදන ලද සටහනක් ලෙස සලකන බවත්ය.

ඒ අනුව විත්තිකාර අභියාචකට අගතියක් වී නැති බව අභියාචනාධිකරණයේ මතයයි.

ඒ අනුව පෙත්සම නිෂ්ප්‍රභ කරන බවද තීන්දුවේ සඳහන් වේ.

විත්තිකාර අභියාචක වෙනුවෙන් නීතීඥ දුමින්ද ද අල්විස් මහතා පෙනී සිටියේය.

නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය පෙනී සිටියාය.

නව අදහස දක්වන්න