උතුරු නැඟෙනහිර සංචාරයකට එන්න දෙමළ ජාතික සන්ධානය තමිල්නාඩු නව මහ ඇමැතිට කියයි | දිනමිණ

උතුරු නැඟෙනහිර සංචාරයකට එන්න දෙමළ ජාතික සන්ධානය තමිල්නාඩු නව මහ ඇමැතිට කියයි

ඉන්දියාවේ තමිල්නාඩුවේ නව මහ ඇමැතිවරයා වශයෙන් දිවුරුම් දුන් ඩී.එම්.කේ. පක්ෂයේ නායක එම්.කේ. ස්ටාර්ලින් මහතාට උතුරේ සියලුම දේශපාලන පක්ෂවල නියෝජිතයන් සුබ පැතුම් යවා ඇති අතර, දෙමළ ජාතික සන්ධානය ඔහුට උතුරු - නැඟෙනහිර පළාත්වල සංචාරයකටද ආරාධනා කර තිබේ.

දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් සුබ පැතුම් එක් කරණ මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය විසඳීමට මැදිහත් වෙන්නැයි ඉල්ලා ඇත.

දෙමළ ජාතික සන්ධානයේම වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා යැවූ සුබ පැතුමේ සඳහන් කර ඇත්තේ මුළු ලෝකයේම දෙමළ නායකයා වීමට හැකියාව ඇති නිසා ස්ටාර්ලින් යන නාමය ඒ ස්ථානයට රැගෙන ඒමට උත්සාහ කරන ලෙසයි.

දෙමළ ජාතික සන්ධානයේ සෙසු දේශපාලනඥයෝද වෙන් වෙන් වශයෙන් ස්ටාර්ලින් නව මහ ඇමතිවරයාට සුබ පතා තිබේ.

දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී. විග්නේස්වරන් මහතාද, ඊ.පී.ආර්.එල්.එෆ්. නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා ද, ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතාද හා තවත් කීප දෙනෙකුද සුබ පතුම් එක්කොට තිබේ.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාද නව මහ ඇමැතිවරයාට සුබපැතුම් යවා ඇති අතර, එය ඉතා සුවිශේෂ කාරණයක් වන්නේ අමාත්‍යවරයා සමඟ ඉන්දියාව දැඩි ලෙස විරසක වී සිටීම හේතුවෙනි.

 

උතුරු පළාත් විශේෂ- රසුල දිල්හාර ගමගේ

නව අදහස දක්වන්න