කොවිඩ්වලින් රට මුදා ගන්න යෞවන සමාජ ව්‍යාපාරයේ තරුණ පිරිස යොදා ගන්නවා - ඇමැති නාමල් රාජපක්ෂ | දිනමිණ

කොවිඩ්වලින් රට මුදා ගන්න යෞවන සමාජ ව්‍යාපාරයේ තරුණ පිරිස යොදා ගන්නවා - ඇමැති නාමල් රාජපක්ෂ

කොවිඩි ව්‍යවසනයෙන් රට මුදා ගන්න යෞවන සමාජ ව්‍යාපාරයේ තරුණ, තරුණියන් එක් කර ගනිමින් ඇඳන් දසදහසක් හා ඔක්සිජන් ලබා දීමේ මධ්‍යස්ථාන 13ක් රට පුරා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කඩිනමින් පියවර ගන්නා බව තරුණ කටයුතු, ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව 'හුස්ම යදින මිනිසුන් වෙනුවෙන් තාරුණ්‍යයේ දායකත්වය ලබා දෙමු' යන්න තේමා කර ගනිමින් ඇඳන් සකස් කිරීමේ ක්‍රියාන්විතයේ මාතර වැඩසටහන නිරීක්ෂණය කිරීමට ( 9) වැලිගම ප්‍රදේශයේ චාරිකාවකට එක් වීමෙන් අනතුරුව, මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් තව දුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසීය.

තාවකාලික ගොඩැනැගිලි යොදා ගනිමින් මෙම ක්‍රියාන්විතය ආරම්භ කරනවා. ස්වේච්ඡාවෙන් කටයුතු කරන තරුණයන් මේ ව්‍යවසනයෙන් රට මුදා ගන්න කටයුතු කරනවා. වගකිව යුතු පුරවැසියන් ලෙසත් අප වගකීමෙන් කටයුතු කළ යුතුයි. යෞවන සමාජ ව්‍යාපාරය, වෘත්තීය සමිති හා පොදුජන පෙරමුණ ඇඳන් දස දහසක් හැදීමේ වැඩපිළිවළ ක්‍රියාත්මක කරනවා. දින හතරක් තුළ මෙය අවසන් කිරීම අපේ බලාපොරොත්තුවයි. මේ වන විට සකස් කළ ඇඳන් යොමු කිරීමේ කටයුතු අප ඉක්මනින් ආරම්භ කරනවා. රටේ ජනතාවත් මෙම වැඩපිළිවළට කඩිනමින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

එන්නත් කිරීමේ වැඩපිළි‍ෙවළ අප ආරම්භ කර තිබෙනවා. ඉතාම ක්‍රමානුකූලව එය ක්‍රියාත්මක කරනවා. එන්නත් කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රම වේදයක් ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා ලෝකයේ තියෙන ක්‍රමවේද වගේම, අපේ රටේ සෞඛ්‍ය අංශ ක්‍රියාත්මක කරන වැඩපිළිවළත් අන්තර්ගතයි. එන්නත් දිය හැකි සියලු දෙනාටම අප එන්නත් දීමට රජය කටයුතු කරනවා. දැඩි සත්කාරයන්හි ඇඳන් වැඩි කළ යුතු යැයි මතයක් තිබෙනවා. ඒ අනුව ඇඳන් අවශ්‍ය රෝහල් හඳුනාගෙන ඇඳන් වැඩිකිරීමට කටයුතු කරනවා. තරුණයන් සකස් කරන ඇඳන් ඒ මධ්‍යස්ථානවලට ලබා දෙන්නත් පියවර ගන්නවා. කොවිඩ් අභියෝගයට මුහුණ දෙන්න අපට හැකියාවක් තිබෙනවා. දේශපාලන අධිකාරිය විදිහටත්, පුරවැසියන් ලෙසත් අප ඒ සඳහා මැදිහත් විය යුතුයි. මෙහි යම් බාධාවන් තිබේනම්, යම් ක්‍රමවේදයන් භාවිතා කරමින් එය වළක්වා ගත යුතුයි. තරුණ පරම්පරාව මේ සඳහා මැදිහත්ව කටයුතු කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක අප සහයෝගයෙන් කටයුතු කරනවා. ඇතැමුන් මහ මඟ වැටී තිබෙන බවට සමාජ මාධ්‍යවල යනවා. එහෙම දෙයක් තිබෙනවානම් ආණ්ඩුවක් ලෙස අප එය සොයා බැලිය යුතුයි. ජනතාව ආරක්ෂා කර ගැනීමට අප කටයුතු කළ යුතුයි. සෞඛ්‍ය අංශ, ආරක්ෂක නිලධාරීන්, රාජ්‍ය අංශය තමන්ගේ ජීවිතය නොතකා කොවිඩ් ව්‍යවසනයට මුහුණ දෙන්න කටයුතු කරනවා. රජය වගකීමෙන් කටයුතු කරනවා. මෙතරම් ව්‍යවසනයක් තිබියදීත් අතැමුන් සාද පැවැත්වීමට කටයුතු කරනවා. ඒ අය පසුවදා මුහුණු පොතේ රජයට බනිනවා. වගකීමෙන් කටයුතු කර කොවිඩ් මර්දනයට අවශ්‍ය සහාය ලබා දෙන්නැයි මේ අයගෙන් මා ඉල්ලා සිටිනවා. රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක, ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත් වික්‍රමසිංහ, වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ, හිටපු පළාත් සභා මන්ත්‍රී අරුණ ගුණරත්න, වැලිගම ප්‍රාදේශීය ලේකම් සුමිත් ශාන්ත, ජාතික තරුණ සේවා සභාවේ සභා අධ්‍යක්ෂ දුෂාන් හෙට්ටිආරච්චි, දකුණු පළාත් අධ්‍යක්ෂ ජනක හෙට්ටිආරච්චි, සහකාර අධ්‍යක්ෂ චන්ද්‍රසිරි වනිගසිංහ, මාතර දිස්ත්‍රික් යෞවන සමාජ බල මණ්ඩල සභාපති සදීප් තාරක යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ

ටී.කේ. මහින්ද - වැලිගම සමූහ

නව අදහස දක්වන්න