රවිට එරෙහි නඩුව ජූනි 16ට | දිනමිණ

රවිට එරෙහි නඩුව ජූනි 16ට

යහපාලන රජය සමයේ සිදු කළ දෙවන මහබැංකු බැඳුම්කර වෙන්දේසියෙන් රජයට රුපියල් බිලියන තිස් හයකට අධික පාඩුවක් සිදු කරමින් රජයේ මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධි චෝදනා යටතේ හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුව පවතින කොවිඩ් තත්ත්වය හමුවේ ජූනි 16 තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණය ඊයේ(11)තීන්දු කළේය.

මෙම නඩුව මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත, මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්ත, මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉසර්ඩීන් මහත්වරුන් ඉදිරියේ ඊයේ විභාග කිරිමට දින නියමව තිබිණි.

රටේ පවතින කොවිඩ් 19 හේතුවෙන් නඩු කල් තැබීමට අධිකරණ සේවා කොමිසම නිකුත් කර ඇති චක්‍ර ලේඛය ප්‍රකාරව නඩුව ජූනි 16 කැදවන ලෙස ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.

2016 මාර්තු 29 දින සිදු කළ දෙවන මහබැංකු බැඳුුම්කර වෙන්දේසියෙන් රජයට රුපියල් බිලියන 36.98ක පාඩුවක් කරමින් රජයේ මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය හා පොදු දේපළ පනත යටතේ දඩුවම් ලැබිය යුතු වැරදි සිදුකිරිම යන චෝදනා 32ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 11 දෙනකුට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

මෙම නඩුව ප්‍රකාරව හිටපු මුදල් ඇමති රවි කරුණානායක, පර්පෙවල් ට්‍රෙසරීස් සමාගමේ අර්ජුන ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් අටදෙනකුට මහාධිකරය ඇප නියම කළ අතර විත්තිකාර හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍ර හා ගාර්දිය පුංචිහේවා විත්තිකරුවන් විදෙස්ගතව ඇති බැවින් ඔවුන් නොමැතිව නඩුව විභාග කිරිමට නියමිතය.

නව අදහස දක්වන්න