ශානි ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීම 19 දා | දිනමිණ

ශානි ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීම 19 දා

නෙල්කා මැදගෙදර

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුවකට අදාළව බොරු සාක්ෂි සෑදූ බවට සැක පිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම මේ මස 19 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ඊයේ (11) තීරණය කළේය.

එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම ද එදින සලකා බැලීමට නියම විය.

මේ පෙත්සම් මැයි මස 13 වැනිදා විභාගයට ගැනීමට මීට පෙර දින නියම කර තිබිණි.

එහෙත් කොවිඩ් වසංගතය හේතුවෙන් පෙත්සම් විභාගයට ගැනීම 14 වැනිදා තෙක් සිදු නොකිරීමට තීරණය කිරීම නිසා මේ පෙත්සම් වෙනත් දිනයක කැඳවන ලෙස ඉල්ලා නීතිඥ චමින්ද අතුකෝරල මහතා මඟින් මෝසමක් ගොනු කර තිබේ.

එම මෝසම සලකා බැලූ මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල අභියාචනාධිකරණය විනිසුරු මඬුල්ල, නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරු සින්හ විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම් 19 වැනිදා කැඳවීමට තීරණය කළේය.

නව අදහස දක්වන්න