වොට්ලින්ට සහ පටෙල්ට කොන්ත්‍රාත් නෑ | දිනමිණ

වොට්ලින්ට සහ පටෙල්ට කොන්ත්‍රාත් නෑ

නවසීලන්ත ක්‍රිකට් ආයතනය 2021-22 තරග වාරය සඳහා සිය ක්‍රීඩකයන් සඳහා වන නවතම කොන්ත්‍රාත් ගිවිසුම් ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ.

මේ සඳහා ක්‍රීඩකයන් 20 දෙනකු ඇතුළත්ව ඇති අතර, ලබන ජූනි මාසයේ එංගලන්තයේ පැවැත්වෙන අයිසීසී ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් තරගයෙන් පසු ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බී.ජේ. වොට්ලින් කොන්ත්‍රාත් ගිවිසුම්වලින් ඉවත් කර තිබේ. එමෙන්ම පසුගිය වසරේ කොන්ත්‍රාත් හිමි කර ගත් අජාස් පටෙල්ට ද මෙවර කොන්ත්‍රාත් ගිවිසුම් අහිමි වී ඇති අතර, නවක ක්‍රීඩකයන් වන ඩැරල් මිචෙල් සහ ග්ලේන් පිලිප්ස්ට පළමු වරට කොන්ත්‍රාත් පිරිනැමීමට කටයුතු කර තිබේ.

තවමත් අන්තර්ජාතික එක්දින තරග වරම් ලබා නැති 24 හැවිරිදි පිලිප්ස් පසුගිය වසරේ බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ පැවැති විස්සයි20 තරගාවලියේදී නවසීලන්තය වෙනුවෙන් වේගවත්ම ශතකයට හිමිකම් කීවේ පන්දු 46කිනි. ඔහු තවමත් ජගත් එක්දින තරග වරම් හිමි කර ගෙන නැත. මිචෙල් පසුගිය වසරේ සිය මංගල ටෙස්ට් සහ එක්දින ශතක වාර්තා කිරීමට සමත් විය. ඔවුන් දෙදෙනාට මෙන්ම කොන්ත්‍රාත්තුව හිමි වූ සියලු ක්‍රීඩකයන්ට සුබ පතන බවත්, ඩැරල් සහ මිචෙල් ඔවුන්ගේ පසුගිය තරග වාරයේ ඔවුන්ගේ ක්‍රීඩාව ඉහළ මට්ටමකට ගෙන ගිය බවත් නවසීලන්ත තේරීම් කමිටුවේ ගේවින් ලාර්සන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මේ ගිවිසුම් අගෝස්තු මස 22 වැනි දින නිල වශයෙන් ආරම්භ වන අතර, කොන්ත්‍රාත් පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට මේ මස 22 වැනිදා දක්වා කාලය දී තිබේ.

 

නව අදහස දක්වන්න