ජනමාධ්‍යවේදීන්ට කොවිඩ් එන්නත් දීම ඇර‍ඹේ | දිනමිණ

ජනමාධ්‍යවේදීන්ට කොවිඩ් එන්නත් දීම ඇර‍ඹේ

රක්ෂණ ශ්‍රියන්ත
ජනමාධ්‍ය ඇමැති, කැබිනට් ප්‍රකාශක, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ඉල්ලීමක් මත සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ මැදිහත් වීමෙන් ජනමාධ්‍යවේදීන් සඳහා කොවිඩ් මර්දන එන්නත දීම ඊයේ (14) ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී සිදු කෙරිණි. එම අවස්ථාවේ ජනමාධ්‍යවේදීන් සඳහා සයිනොෆාම් එන්නත දුන් අයුරු. ඡායාරූපය - සුලෝචන ගමගේ

ජනමාධ්‍ය ඇමැති කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ඉල්ලීමක් මත සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ මැදිහත් වීමෙන් ජනමාධ්‍යවේදීන් සඳහා කොවිඩ් මර්දන එන්නත දීම ඊයේ (14) ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී සිදු කෙරිණි.

විශේෂයෙන් කොවිඩ් වසංගතය මෙරටට පැමිණි මොහොතේ සිට එහි තොරතුරු ජනතාවට දීම උදෙසා විශාල කාර්යභාර්යක නියැළෙන ඉදිරි පෙළ කණ්ඩායමක් වශයෙන් මාධ්‍යවේදීන් ඉටු කරන මෙහෙය අඛණ්ඩව කිරීම සඳහා මේ එන්නත දීම වැදගත් වනු ඇතැයි ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මේ වන විට ඇතැම් මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් ඇතුළු කාර්ය මණ්ඩල රැසක් ව්‍යසනයට ගොදුරුව ඇති අතර, ඉදිරියේදී තව දුරටත් එය ව්‍යාප්ත වුව හොත් ජනතාවට නිසි ලෙස තොරතුරු දීම අපහසු වනු ඇතැයිද ඇමැතිවරයා පෙන්වා දෙයි.

විශේෂයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන්, මාධ්‍යවේදීන් මෙන්ම මාධ්‍ය සංවිධාන ඇතුළු කණ්ඩායම් විසින් පසුගිය දිනවල මේ සඳහා ඉල්ලීම් කෙරිණි. ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී මාධ්‍ය අංශ ප්‍රධානීන් හා ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් සමඟ ජනමාධ්‍ය ඇමැතිවරයා හා සෞඛ්‍ය ඇමැතිවරිය පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මේ එන්නත්කරණය කඩිනමින් සිදුකිරීමට අවශ්‍ය පියවර ගැනිණි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත් හිමි මාධ්‍යවේදීන් 6,000කට අධික ප්‍රමාණයක් මෙරට සිටින අතර, ප්‍රමුඛතාව අනුව අදාළ මාධ්‍යවේදීන් යොමු කරන ලෙස ඒ ඒ මාධ්‍ය ආයතන වෙත ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් දැනුම් දෙනු ලැබීය. ඒ අනුව ජනමාධ්‍යවේදීන්ට මේ එන්නත් දීම සිදු කෙරේ.

 

ජනමාධ්‍යවේදීන් සඳහා එන්නත්කරණය කරන අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක, ජනමාධ්‍ය අධ්‍යක්ෂ කේ. පී. ජයන්ත යන මහත්වරුන්ද එක්ව සිටි අතර, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති මාහාචාර්ය එස්. ඩී. ජයරත්න, එහි අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි ඒ. හේවගේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂ්‍යා ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගේ අධීක්ෂණයෙන් එය සිදු කෙරේ.

නව අදහස දක්වන්න