සොබාදහමේ return එක | දිනමිණ

සොබාදහමේ return එක

අතීතයේ පටන් මිනිසා සොබාදහම හා පැවැත්වූ ළෙන්ගතුකම් මොනතරම් නම් සොඳුරුද..? ගොවිතැනින් තම ජීවිකාව සරිකරගත් අතීත මිනිසා සොබාදහම දේවත්වයෙන් සැලකූහ. මහ පොළොව, ඉර, හඳ, තුරුලතා, පාංශු ජීවීන්, පස, පමණක් නොව සියලු වන සතුන් ඇතුළු සොබාදහම නිර්මාණය වී ඇති සියලු අංගයන් කෙරෙහි බොහෝ ළෙන්ගතු විය. අස්වැන්න කපා ගන්නා කාලයට සතුන්ට ද කොටසක් ඉතිරි කළහ. මහ පොළොව වැඳ නමස්කාර කර අස්වැන්න නෙළා ගත්හ. අස්වැන්න නෙළා ගැනීම තම දෑතින්ම බොහොම ගෞරවයෙන් සිදු කළහ. අස්වැන්නේ මුල් කොටස දෙවියන් උදෙසා පූජා කළහ.

අතීත මිනිසාගේ ආහාරපාන ද දේශීයත්වයෙන්, ස්වාභාවිකත්වයෙන් පිරී තිබුණහ. කෘත්‍රිමත්වය තිබුණේම නැති තරම්ය. පොළොවෙන් හාරා ගන්නා අල වර්ග, ස්වාභාවික වෘක්ෂලතාවන්ගෙන් ගන්නා කොළ වර්ග, පලා වර්ග, පලතුරු තමන් විසින් වගා කර ගන්නා ස්වාභාවික එළවළු වර්ග වැනි දෑ ඔවුන් ආහාරයට ගත්හ. එයින් ඔවුන්ගේ නිරෝගීකම රැක ගත්හ. වස විසෙන් තොර ආහාර වේලක් ශරීරයේ තැන්පත් කළහ. එහි ඇති ස්වාභාවිකත්වය ඔවුන්ගේ ශරීර ශක්තිය පවා වැඩි කළහ.

ලෙඩක් දුකක් සෑදුන කල පරිසරය, මහ පොළොව තුළින්ම සුවය සෙවූහ. දේශීය වෙදකම, ආයුර්වේද වෙදකම තුළින්ම සහනය ලැබූහ. පරිසරය සතු ශාකසාරවල ඖෂධීය ගුණ කැටිකර නිරෝගී බව රැකගත්හ. වෘක්ෂයක් ගත් කල එහි මුල්, කොළ, පොතු, මල්, ඵල ආදි ඖෂධීය ගුණය කැටි වූ සියලුම කොටස් රෝග නිවාරණය සඳහා යොදා ගත්හ. එදා වෙදකම තුළින් ප්‍රතිකාර කිරීමේදී සොබාදහමෙන් ගත් ඖෂධීය ගුණයන්ට අමතරව ප්‍රතිකාර කරන වෙදමහතා සතු අත්ගුණය, රෝගියා කෙරෙහි දක්වන මෛත්‍රිය හා වෙද මහතා රෝගියා කෙරෙහි හදවතින්ම දක්වන ආශිර්වාදය රෝග ඉක්මනින් හා නිට්ටාවටම සුව වීමට හේතුවක් විය. එපමණක් නොව රෝගියා සතු යහපත් ඇවතුම් පැවතුම් සහ වෙද මහතා සතු යහපත් පැවතුම් ද රෝගියාගේ සුවය කෙරෙහි නොදැනුවත්වම එක් වූහ.

අතීත මිනිසා ආගමට දහමට වුව බොහෝ ළැදිය. ඔවුන් ධර්මය ප්‍රගුණ කළහ. ධර්මයට ළැදි වූහ. එමඟින් ධර්මයේ පිහිට ලබා ගත්හ. ගෞතම බුදුරජාණන් වහන්සේ පෙන්වූ මාර්ගයේ නිවැරදිව ගමන් කළ පිරිසද බොහෝය. ඒ අතර එකල ද අන්ධ භක්තිකයන් සහ මිත්‍යාදෘෂ්ටිකයන් ද තම ඇදහීම් සිදු කළහ. නමුත් සොබාදහමට විශාල ලෙස හානි සිදු කිරීමට, සතුන්ගේ ජීවිත අප්‍රමාණ ලෙස විනාශ කිරීමට වැනි අයහපත් දෑ මහා පරිමාණයෙන් කිරීමට නම් ඔවුන් යුහුසුලු නොවූහ.

මේ සියල්ල සමඟ වර්තමානයේ දුර්ලභ ඔසුවක් වූ මනුෂ්‍යත්වය එකල නම් යහමින් පැවතිණි. මනුෂ්‍යත්වය ගිලිහී ගිය පුද්ගලයන් නොසිටියාම නොවේ. නමුත් බහුතරය මනුස්සකමින් පරිපූර්ණ වී සුන්දර මිනිසුන් සේ අත්වැල් බැඳ ජීවත් වූහ. අනෙකාගේ යහපතම පැතූ ඔවුන් සහයෝගයෙන් එකමුතුව ජීවන ඔරුව පැද ගියහ.

නමුත් ක්‍රමක්‍රමයෙන් අතීතය අපි අතරින් පලා ගියහ. අධිවේගී මාර්ගය ඔස්සේ අතීතය පසුකර වර්තමානය හරහා අනාගතයට පිවිසෙන්නට දොරටු විවර කරගත්හ. අතීතයේ යහපත් ඇවතුම් පැවතුම් සියල්ල අපෙන් ගිලිහී ගියහ. අපි ඒ සියල්ල පසෙකලා ස්වාභාවිකත්වයෙන් මිදී දියුණු වූ තාක්ෂණය හරහා වර්තමානයට පිවිසියහ. නමුත් වර්තමානය නම් අවුල් ජාලයකි. තාක්ෂණයේ දියුණුවත් සමඟ අපේ ආහාර රටාවේ සිට සියලු දෑ කෘත්‍රිමත්වය හරහා ඔපවත් විය.

එදා දෑතින්ම වැඳ නමස්කාර කර නෙළාගත් අස්වැන්න අද තාක්ෂණය ඔස්සේ යන්ත්‍රානුසාරයෙන් සකස් කර ගනී. ඒ කෙරෙහි ඇති ගෞරවය භක්තිය අද වන විට එතරම් ගණනකට නොගන්නා තරම්ය. සතුන් වෙනුවෙන් නම් වී ඇටයක තරම් දෙයක්වත් ඉතිරි නොකරනා තරම්ය. දෙවියන් උදෙසා ආහාර කොටසක් පූජා කිරීම තියා අලුත් අස්වැන්න ගෙන දානයක් සකසා පන්සලකටවත් ගෙන නොයන තරම්ය.

දේශීයත්වය සොයන්නට නම් නැති තරම්ය. කෘත්‍රිමත්වය නැතිව හුස්ම ගන්නටවත් නොහැකි තරමට කෘත්‍රිමත්වය අපව ආක්‍රමණය කර හමාරය. ක්ෂණික ආහාර පාන, කාලාන්තරයක් ශීතකරණවල ලැගුම්ගත් මාංශමය ආහාර, තෙල් සහිත ආහාර මෙවැනි ශරීරයට අහිතකර බොහෝ ආහාර අපේ උදරය සොහොන් පිටියක් කර හමාරය. ශරීරය විවිධ වූ රෝගයන්ගේ, සොයා ගැනීමට නොහැකි රෝගයන්ගේ නිජබිමක් වී හමාරය. ගහෙන් කඩා ගන්නා ස්වාභාවික පොලොස් ගැටය කෘත්‍රිම රසකාරකයන්ගෙන් රසවත් සුවඳවත් කර දිව පිනවන ගෘහණියන් බොහෝය.

අද වන විට ලෙඩ රෝග බොහෝය. වැලඳුන ආකාරය, එයට හේතු සහ ප්‍රතිකාරයක්වත් සොයා ගැනීමට නොහැකි තරම් වූ රෝගයන් හතු පිපෙන්නාක් මෙන් පැනනඟින්නට පටන්ගෙනය. බොහෝ විට එදා වෙදැදුරන් මෙන් අද වෙදැදුරන් දක්ෂ නැත. ඔවුන්ගේ වෙදකම පොතපත දැනුමට පමණක් සීමා වී ඇත්දැයි සැකයක් ද වෙයි. දේශීය වෙදකම පවා බොහෝ පහතට වැටීය. එදා මෙන් නොව වෙදැදුරන්ගේ ගුණයහපත්කම් ද බොහෝ ගිලිහීය. දේශීය වෙදකමද මුදල් පසුපස හඹා යන කලාවක් කරගෙනය. එදා වෙදැදුරන් රෝගීන් කෙරෙහි රෝග සුව කිරීමෙහිලා දැක් වූ හදවතින්ම එන ආශිර්වාදය අද වන විට නම් දක්නට නැති තරම් ය. ඉතින් රෝග සුව වීම ද බොහෝ ප්‍රමාදය.

වර්තමාන මිනිසා තුළින් ධර්මය ද පිරිහී ගොසිනි. ඉතින් මනුෂ්‍යත්වය ද පිරිහී ගොසිනි. නමුත් තාක්ෂණය නම් බොහෝ දියුණුය. සියලු කාර්යන් බොහෝ පහසුය. නමුත් වර්තමාන මිනිසා සොබාදහමෙන් බොහෝ ඈත්වීය. ධර්මය මායිම් නොකරන්නේය. එහි සත්‍යතාව වටහා නොගන්නේය. ඉතින් මිනිසුන් අකුසලයට යොමු වෙන වාර අනන්තය. කුසලය ඈත්වී ගොසින්ය. මනුෂ්‍යත්වය ගිලිහී ගොසින්ය. අපේ ගුණයහපත්කම් ගිලිහී ගොසිනි. ධර්මය පවා තාක්ෂණීකරණය වී ඇත. නමුත් කර්මය නම් නොනැවතීය. අකුසලය, අයහපත පසුපස කර්මය නොනැවතීම ලුහුබඳින්නීය. නමුත් රටේ පවත්නා අයහපත් තත්ත්වය හමුවේ හෝ තවමත් මිනිසුන් මෙය වටහා නොගන්නේය.

ඉතින් මේ අපි සොබාදහමට කල කී දෑ නැවත සොබාදහම විසින් අපිට සිදු කරමින් පවතින යුගයකි. සමාවක් නොලැබෙන ප්‍රතිප්‍රහාරයන්ට ලක්වෙන යුගයකි. අපෙන් ගිලිහී ගිය සියලු යහපත් දෑ සිහිගන්වමින් ඒවාට හුරු කරවීමට උත්සහා කරන යුගයකි. අතීතය යළිත් අපේ දෑස් ඉදිරිපිට මැවී පෙනෙයි. ඉතින් තවත් නම් කුමක් කියන්නද..?

 

නුවන්ති හංසිනී උත්පලා

සඳලංකාව

නව අදහස දක්වන්න