අමෙරිකා ජනපතිවරණයට අත පෙවූ විදෙස් බුද්ධි අංශ | දිනමිණ

අමෙරිකා ජනපතිවරණයට අත පෙවූ විදෙස් බුද්ධි අංශ

ෆවුස් මොහොමඩ්

බොහෝ රටවල දේශපාලන යාන්ත්‍රණයට විවිධ බුද්ධි සේවා මඟින් බලපැම් සිදු වන බව විවිධ කාලයන්හි මතුවන ගැටලුවකි. වසර 2020 අමෙරිකානු ජනාධිපතිවරණයට සහ එරට ආරක්ෂාව පිළිබඳ කටයුතුවලට රුසියානු බුද්ධි සේවා මැදිහත් වූයේ යැයි කියන ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධ පරීක්ෂණයේදී පාකිස්තානු අන්තර්ජාල විශේෂඥයන්ගේ දායකත්වය ඊට ලැබී ඇතැයි මේ වන විට අනාවරණය වී තිබේ.

එම මෙහෙයුමට රුසියානු බුද්ධි සේවාවේ 32 දෙනකු සහ කරච්චි නුවර කේන්ද්‍ර කර ගත් පාකිස්තාන ජාතිකයන් 6 දෙනකුගේ සහාය ඊට ලැබී ඇති බවට ද තොරතුරු සොයා ගෙන තිබේ. පරිග්‍රාහකයා සහ අන්තර්ජාල වෙබ් අඩවිය අතර සම්බන්ධතාව සිදු කරමින් අන්තර්මැදියකු ලෙස කටයුතු කරනු ලබන අන්තර්ජාල පරිශීලකයන්ගේ අනන්‍යතාව ආවරණය කෙරෙන ප්‍රොක්සි (proxy) මඟින් පරිග්‍රාහකයා පිළිබඳ තොරතුරු සැඟවීමේ හැකියාව තිබේ. අමෙරිකානු ජනාධිපතිවරණයට අදාළ කටයුතු සිදු කරනු ලැබු වෙබ් අඩවි වෙත අනන්‍යතාව සඟවමින් ප්‍රවේශ වීමට රුසියානු බුද්ධි සේවාවට හැකි වූයේ පාකිස්තානයේ පරිඝනක විශේෂඥයන්ගේ දායකත්වය මත බවත්, ඒ සඳහා එම කාර්යයෙහි නිරත වූ පාකිස්තානු ජාතිකයන්ට වැඩි මුදලක් ගෙවා ඇති බවත් අනාවරණය වී ඇතැයි වෙබ් අඩවි ගණනාවක් වාර්තා කර තිබිණි.

පාකිස්තානු ජාතිකයන් 6කට සම්බාධක

අදාළ පාකිස්තානු ජාතිකයන්ගේ දායකත්වය ලැබූ කරච්චි නුවර කේන්ද්‍ර කර ගත් අන්තර්ජාල මෙහෙයුම් ආයතන 4ක් මේ පිළිබඳ අමෙරිකාව විසින් සිදු කරනු ලැබූ පරීක්ෂණවලදී සොයා ගත් කරුණු මත හඳුනාගෙන ඇති අතර, මේ වන විට එම සමාගම්වලට සම්බාධක පැනවීමට අමෙරිකාව පියවර ගෙන තිබේ. එම අන්තර්ජාල මෙහෙයුම් සමාගම්වල හිමිකරුවන් සහ සේවකයන් ලෙස කටයුතු කළ පුද්ගලයන් ලෙස මොෂින් රාසා, මුජ්තබා රාසා, සෙයිඩ් හස්නින්, මුහම්මද් හයිට්, සෙයිඩ් රාසා සහ ශහ්සාඩ් අහමඩ් නමැති අය හඳුනාගෙන තිබේ.

සම්බාධක පනවනු ලැබූ පාකිස්තාන අන්තර්ජාල මෙහෙයුම් ආයතනයක හිමිකරුවකු වන මොෂින් රාසාගේ ගනුදෙනුකරුවන් අතර මීට පෙර අමෙරිකානු ජනාධිපතිවරණ කටයුතුවලට මැදිහත්වීම් සිදු කළ බව කියන අන්තර්ජාල පර්යේෂණ ඒජන්සියේ (IRA) හිටපු නිලධාරියකු ද සිටින බව අමෙරිකානු වාර්තාවෙන් අනාවරණය වී තිබේ.

පසුගිය අප්‍රේල් මාසයේ 15 වැනිදා මේ පුද්ගලයන්ට සම්බාධක පැනැවූ අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කරච්චි නුවර කේන්ද්‍ර කර ගත් සෙකන්ඩ් අයි සොලියුෂන් නමැති සමාගම මේ කාර්යයේදී වැඩි කාර්යභාරයක් සිදු කර ඇති බවය. අමෙරිකානු ජනාධිපතිවරණයට අදාළ වෙබ් අඩවි පරිශීලනය කිරීමේදී සිය අනන්‍යතාව සැඟවීමට රුසියානු බුද්ධි සේවා නිලධාරින්ට සහයෝගය ලබා දී ඇත්තේ එම සමාගම විසින් බව ද සොයා ගෙන තිබේ. රුසියානු සමාගම වන අන්තර්ජාල පර්යේෂණ ඒජන්සියට විදෙස් මෙහෙයුම් පාලනය කිරීමට සහ විවිධ වෙනස්කම් සිදු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සෙකන්ඩ් අයි සොලියුෂන් සමාගමේ දායකත්වය සපයා ඇත්තේ විශාල මුදලකට බවත් අනාවරණය වී තිබේ. සෙකන්ඩ් අයි සොලියුෂන් සමාගම හරහා එම මුදල් සෙසු සමාගම්වලට හා පුද්ගලයන් අතර බෙදා දී ඇතැයි ද අනාවරණය වී තිබේ.

ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ ට්‍රම්ප් පරිපාලනය මෙන්ම අමෙරිකාවේ වත්මන් ජනාධිපති බයිඩ්න්ගේ පරිපාලනයත් රුසියානු මැදිහත්වීම සම්බන්ධව චෝදනා එල්ල කර තිබේ. එසේ වුවත් එම චෝදනාව රුසියාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. පාකිස්තානු මැදිහත්වීම පිළිබඳ කරුණු සොයාගැනීමට අමෙරිකාවට හැකි වූයේ එවැනි පසුබිමකදී වන අතර, අදාළ පාකිස්තානුවන් මේ කටයුතු ක්‍රියාත්මක කර ඇත්තේ වසර 2012 සිට බවත් සොයාගෙන තිබේ.

අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව මේ නිවේදනය නිකුත් කරනු ලැබුවේ එරට බුද්ධි සේවා නිලධාරින් විසින් සිදු කරනු ලැබූ 2020 අමෙරිකානු ජනාධිපතිවරණයට විදේශීය මැදිහත්වීම පිළිබඳ පරීක්ෂණ වාර්තාව නිම කිරීමෙන් පසුවය. එම වාර්තාවට අනුව ජනාධිපතිවරණයට විදෙස් මැදිහත්වීම සෘජුවම රුසියාව සම්බන්ධ බව අනාවරණය වී ඇතැයි ද වාර්තා වේ. ජනාධිපතිවරණයේදී මහජන විශ්වාසය අඩපණ කිරීම ඇතුළුව විවිධ මෙහෙයුම් රැසකට රුසියාව මැදිහත්වී ඇතැයි ද හෙළි වී තිබේ.

හඳුනාගත් පාකිස්තාන අන්තර්ජාල මෙහෙයුම් සමාගම් 4ට අමතරව පාකිස්තාන ජාතිකයන් 6 දෙනකුට සම්බාධක පැනැවීමට අමෙරිකාව කටයුතු කරනු ලැබුවේ එම පරීක්ෂණ වාර්තාවට අනුවය.

ව්‍යාජ ලිපිලේඛන සකස් කිරීම

අවම වශයෙන් වසර 2012 සිට ගුවන් ගමන් බලපත්‍ර, රියැදුරු බලපත්‍ර, බැංකු වාර්තා, ජාතික හැඳුනුම්පත් ලිපි ලේඛන ඇතුළු ව්‍යාජ ලිපි ලේඛන රැසක ඩිජිටල් ඡායාරූප සෙකන්ඩ් අයි සොලියුෂන් සමාගම විසින් රුසියානු බුද්ධි සේවාවට සපයා ඇතැයි එම පරීක්ෂණ වාර්තා මඟින් පෙන්වා දී තිබේ. එමෙන්ම මූල්‍ය කටයුතු සඳහා අන්තර්ජාල ගිණුම් සහ විවිධ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් සකස් කිරීම එම ව්‍යාජ ලිපි ලේඛන භාවිත කරමින් සිදු කර තිබේ. වසර 2017දී රුසියාවේ අන්තර්ජාල පර්යේෂණ ඒජන්සිය එම සමාගම හරහා අමෙරිකානු ව්‍යාජ රියැදුරු බලපත්‍ර 15ක ඡායාරූප මිල දී ගෙන ඇතැයි ද අනාවරණය වී ඇත. අමෙරිකාව තුළ සමාජ මාධ්‍ය ගිණුම් ආරම්භ කිරීමට අන්තර්ජාල පර්යේෂණ ඒජන්සියට එම රියැදුරු බලපත්‍රවල ඡායාරූප ආධාරක ලේඛන ලෙස භාවිත කර තිබේ.

මෙවැනි ව්‍යාජ රියැදුරු බලපත්‍ර අමෙරිකානු ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගැනීම වරින් වර සිදුවන්නකි. පසුගිය වසරේ අගෝස්තුවේ චිකාගෝ ගුවන් තොටුපළේදී ව්‍යාජ රියැදුරු බලපත්‍ර විසිදහසකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබිණි. දේශ සීමා ආරක්ෂක කටයුතුවලදී ද එවැනි ව්‍යාජ රියැදුරු බලපත්‍ර අතිවිශාල සංඛ්‍යාවක් වාර්ෂිකව අත්අඩංගුවට ගැනේ. එවැනි ව්‍යාජ රියැදුරු බලපත්‍ර අමෙරිකාවේ කළු කඩ වෙළෙඳාම තුළ වඩාත් වේගයෙන් අලෙවි වන අතර, ඩොලර් 250-500 අතර මුදලකට මිල දී ගත හැකි බව කියැවේ.

පාකිස්තාන සෙකන්ඩ් අයි සොලියුෂන් සමාගම සැපයූ ව්‍යාජ ලිපි ලේඛන මඟින් විවිධ අන්තර්ජාල සේවා සඳහා අමෙරිකානු සම්බාධක තුළින් රිංගා යෑමට භාවිත කර ඇතැයි ද අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම අති සූක්ෂ්ම හා අධි සංවේදිතාවකින් යුතු විදේශ වත්කම් පාලන කාර්යාලයේ (OFAC) මුදල් විශුද්ධිකරණ පද්ධතියේ නිරීක්ෂණයට හඳුනාගත නොහැකි අයුරින් කටයුතු කිරීමට ද එම ලිපි ලේඛන භාවිත කර තිබේ.

විදෙස් රටවලට, ත්‍රස්තවාදයට සහ අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව අමෙරිකානු විදේශ ප්‍රතිපත්තිය සහ ජාතික ආරක්ෂාව මත පදනම් වූ ආර්ථික හා වෙළෙඳ සම්බාධක පැනැවීමේ විදේශ වත්කම් පාලන කාර්යාලය අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන්නකි. එය එරට විදේශ ප්‍රතිපත්තියට හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන විනාශකාරී ආයුධ ව්‍යාප්ත කිරීම හා වෙනත් බාහිර තර්ජන මැඬ පැවැත්වීමෙහිලා ප්‍රධාන භූමිකාවකට පණ පොවන අතිශය වැදගත් රාජ්‍ය කාර්යාලයකි.

තම වංචනික ලිපි ලේඛන බොහෝ විට සමාජ මාධ්‍ය ජාලා, නිදහස් රැකියා අවස්ථා සඳහා මෙන්ම වෙළෙඳ කටයුතු උදෙසා භාවිත කරන්නට ඇතැයි සෙකන්ඩ් අයි සොලියුෂන් සමාගම ප්‍රචාරය කර තිබේ. විදේශ වත්කම් පාලන කාර්යාලය විශේෂයෙන් සකස් කර ඇති ජාතික හා සම්බාධක පනවා ඇති පුද්ගලයන්ගේ ලැයිස්තුවට එම සමාගම ඇතුළත් කිරීමෙන් මූල්‍ය ආයතන සහ ඔවුන්ගේ කොටස්කරුවන් ලෙස කටයුතු කිරීම සඳහා සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට එම සමාගම ඩිජිටල් මූල්‍ය ලිපිනයන් ද භාවිත කර ඇතැයි සොයා ගැනීමටත් හැකිවී තිබේ.

එම මූල්‍ය ලිපිනයන් හරහා සෙකන්ඩ් අයි සොලියුෂන් සමාගම වසර 2013 සිට 2021 මාර්තු මාසය දක්වා ගනුදෙනු 26,900ක් සිදු කරමින් ඩොලර් මිලියන 2.5කට වඩා වැඩි මුදලක් ඩිජිටල් මුදල් ලෙස උපයා ඇතැයි ද හෙළි වී ඇත.

පූටින්ගේ අරක්කැමියා

අමෙරිකාව බොහෝ කලෙක සිට රුසියාව දෙස ඇස ගසා සිටින අතර, 'මොස්කව් ටයිම්ස්' පුවත්පතට අනුව පුටින් සමඟ විදේශීය නිලධාරින් සහභාගි වන ක්‍රෙමලීනයේ රාත්‍රී භෝජන සඳහා සිය අවන්හල් වෙතින් සත්කාරකත්වය ලබා දීම හේතුවෙන් යෙව්ගිනි ප්‍රිගෝසින් නමැති ව්‍යාපාරිකයා හඳුන්වනු ලබන්නේ ‘පුටින්ගේ අරක්කැමියා‘ නමිනි. එනමින් ඔහු හැඳින්වීමට තවත් හේතුවක් වන්නේ විදෙස් රටවල කටයුතු සඳහා විශේෂයෙන් අප්‍රිකාවේ විවිධ කටයුතු සඳහා ඔහු වැඩි වශයෙන් මැදිහත්වීම් සිදු කිරීම හේතුවෙන් යැයි කියැවේ. 

පුටින්ගේ සමීපතම සගයකු ලෙස ප්‍රකට 59 හැවිරිදි මේ ව්‍යාපාරිකයා මීට පෙර වසර 2016 අමෙරිකානු ජනාධිපතිවරණයට මැදිහත්වීමේ චෝදනා ත්‍රිත්වයකට හසු වී තිබේ. එම ජනාධිපතිවරණය ව්‍යාකූල කිරීමට උත්සාහ ගනු ලැබූ බව කියන රුසියාවේ අන්තර්ජාල පර්යේෂණ ඒජන්සියට මුදල් යොදවන්නේ යෙව්ගිනි බව වෙබ් අඩවි වාර්තාවලින් කියැවේ.

එමෙන්ම වසර 2018 අමෙරිකානු අතුරු මැතිවරණයට බලපෑම් කිරීමට උත්සාහ දැරීමේ චෝදනාවක් ද එල්ල වී තිබිණි. ඒ අනුව ඔහුටත්, ඔහුගේ සමාගම්වලට සහ සමීපතමයන්ටත් අමෙරිකාවේ ආර්ථික සම්බාධක සහ අපරාධ චෝදනාවලට මුහුණදීමට සිදුවී තිබිණි. ඇතැම් වාර්තාවලට අනුව ඔහු රුසියාවේ ඉහළ හමුදා නිලධාරීන්ගේ කාර්ය මණ්ඩලයේ සහ එරට ආරක්ෂක අමාත්‍යාංශය සමඟ ඉතා සමීපව කටයුතු කරන පුද්ගලයෙකි.

පසුගිය පෙබරවාරියේදී අමෙරිකාවේ එෆ්බීඅයි බුද්ධි සේවය අත්අඩංගුවට ගැනීම සඳහා අත්‍යවශ්‍ය පුද්ගලයන්ගේ ලැයිස්තුවට යෙව්ගිනි ප්‍රිගෝසින් නම් කළ අතර, ඔහු පිළිබඳ තොරතුරු සපයන පුද්ගලයන්ට ඩොලර් දෙලක්ෂ පනස්දහසක මුදල් ත්‍යාගයක් පිරිනමන බව නිවේදනය කළේය. එමෙන්ම ඔහු රුසියානු රජයට අමතරව කටාර්, ඉන්දුනීසියාව සහ එස්ටෝනියා රජයන් සමඟත් සම්බන්ධතා පවත්වමින් සිටින බව එෆ්බීඅයි බුද්ධි අංශය නිවේදනය කරනු ලැබුවේ අන්තර්ජාතික ගුවන් ගමන් අවදානම පිළිබඳ ඔහු අවධානය යොමු කළ යුතු බව කියමිනි.

නව අදහස දක්වන්න