කුසල් යුගලයේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පිල බංග්ලාදේශයට ගොඩබසී | දිනමිණ

කුසල් යුගලයේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පිල බංග්ලාදේශයට ගොඩබසී

තරග 3කින් සමන්විත එක්දින තරග සංචාරයක් සඳහා ඊයේ (16) අලුයම මෙරටින් පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පෙරවරුවේ බංග්ලාදේශයට ගොඩ බැස්සේය.

යොවුන් ක්‍රීඩකයන් රැසක් එක්ව ඇති කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් පෙරේරාට හිමිව ඇති අතර, උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස් කටයුතු කරයි.

මේ සඳහා ක්‍රීඩකයන් 18 දෙනකුගෙන් යුත් සංචිතයක් නම් කළ අතර, ඊට නවක ක්‍රීඩකයන් ලෙස වේග පන්දු යවන්නන් වන චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු සහ ශිරාන් ප්‍රනාන්දු ඇතුළත්ව සිටිති.

කුසල් ජනිත් පෙරේරා කණ්ඩායම මෙහෙයවන පළමු අවස්ථාව මෙය වන අතර, ශ්‍රී ලංකා පිල බංග්ලාදේශයේදී එක් දින තරගාවලියකට එක්වන්නේ වසර 3කට පසුවය. ශ්‍රී ලංකා පිල අවසන් වරට 2018 වසරේ ජනවාරි මාසයේ බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් එක්දින තරගාවලියකට එක් වූ අතර, එම තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ද සමත් විය.

මේ දෙපිල අතර, එක්දින තරගාවලිය මේ මස 23, 25 සහ 28 දිනවල ඩකා නුවර ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා පිල බංග්ලාදේශයේදී දින 4ක් නිරෝධායනයේ නියැලෙන අතර, අනතුරුව පුහුණුවීම් ආරම්භ කරනු ඇත. එක්දින තරගාවලියට පෙර 21 වැනිදා පුහුණු තරගයක් පැවැත්වීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයන් අතරය.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස සජීව වීරකෝන් පත් කර ඇතැයි වාර්තා වේ. බංග්ලාදේශ සංචාරය සඳහා මේ පත් වීම සිදු කර තිබේ.

ශ්‍රී ලංකා එක්දින සංචිතය: කුසල් ජනිත් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස් (උපනායක), ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, දසුන් ශානක, අෂේන් බණ්ඩාර, වනිඳු හසරංග, ඉසුරු උදාන, අකිල ධනංජය, නිරෝෂන් දික්වැල්ල, දුෂ්මන්ත චමීර, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු, ශිරාන් ප්‍රනාන්දු.

නිරෝෂාන් ප්‍රියංකර

නව අදහස දක්වන්න