කොවිඩ්වලට බයේ හැංගී නොසිට ජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ගත යුතුයි - ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු | දිනමිණ

කොවිඩ්වලට බයේ හැංගී නොසිට ජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ගත යුතුයි - ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු

පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් කොවිඩ්වලට බයේ හැංගී නොසිට මේ රටේ ජනතාව ගැන තීන්දු තීරණ ගත යුතු බවත්, පාර්ලිමේන්තුව වසා දැමුව හොත් රට එක තැන නතර වන බවත් මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ කොරෝනා මර්දන ජාතික ව්‍යාපෘතියට සහායදීමේ අරමුණින් ක්‍රියාත්මක 'දින දහයක් තුළ ඇඳන් 10,000ක්' සකස් කිරීමේ ජාතික සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇඳන් නිර්මාණ කිරීමේ කටයුතුවල ප්‍රගතිය සොයා බැලීමට නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ් ද කීය.

'පාර්ලිමේන්තුව පැවැත්වෙන්න ඕනෑ. රටේ ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕනෑ. කොවිඩ් කොවිඩ් කියලා හැං‍ෙගනවා නම් මේ රට ඉදිරියට යන්නේ කොහොමද? ඒ නිසා පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරු බය නැතිව ඇවිල්ලා මේ රටේ ජනතාව ගැන තීන්දු තීරණ ගන්න අවශ්‍යයි. පාර්ලිමේන්තුව වහලා හැංගුණාම කොහොමද රටක් දුවන්නේ.

කොරෝනාවලට සල්ලි නෑ කිය කිය අප රුවන්පුර අධිවේගී මාර්ග හදනවා කියලා විපක්ෂය දැන් චෝදනා කරන්න පටන් ගෙන. කවුද කියන්නේ අපේ ආණ්ඩුවට සල්ලි නෑ කියලා. අපි පීසීආර් කරන්න, වැක්සින් කරන්න, ඇඳන් ගන්න, ඔක්සිජන් ගන්න, බෙහෙත් දෙන්න සල්ලි නෑ කියලා තියෙනවාද? අඩුම ගානේ පාර්ලිමේන්තුවේ විපක්ෂයට පඩි ගෙවන්නවත් සල්ලි නෑ කියලා තියෙනවාද? අපි රාජ්‍ය සේවකයාට නිසි ලෙස පඩි ගෙවනවා. රටේ ණය නිසි වෙලාවට ගෙවනවා. එයාලගේ යහපාලන ආණ්ඩුව වගේ නොවෙයි, අපේ ආණ්ඩුව. රටේ ආර්ථිකය ඉතාමත් දක්ෂ ලෙස කළමනාකරණය කරනවා. විපක්ෂයට අවශ්‍ය මේ රටේ සල්ලි නැතිව, ආර්ථිකය කඩා වැටී. මිනිස්සු මැරෙනවා දකින්න.

කොවිඩ් නොවෙයි, මොන අභියෝගය ආවත් අපි මේ රට ඉදිරියට ගෙනි යනවා. ඒ වගේම අපි මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරනවා. මේ රටේ යටිතල පහසුකම් සංවර්ධනය කරනවා. රට දියුණු කරනවා. රටට ආයෝජකයන් ගෙන්වනවා. අපේ අභියෝගය තමයි, කොවිඩ් වසංගතය හමුවේ වුවත් මේ රට දියුණු කරන එක.

රට වහන්න ඕනෑ වෙලාවට රට වහන්න ඕනෑ. රට අරින්න ඕනෑ වෙලාවට රට අරින්න ඕනෑ. ඒ තීන්දු තීරණ ගන්න තමයි ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවක් ඉන්නේ. ලැජ්ජාවට වහන්නත් ලැජ්ජාවට අරින්නත් පිස්සුවක් අපේ ආණ්ඩුවට නෑ. නිවැරදි තීන්දු තීරණ ගන්න ඕනෑ වෙලාවට අපි නිවැරදි තීරණ ගන්නවා.

දින දහයක් ඇතුළත ඇඳන් 10,000ක් අපි නිර්මාණය කරන සමාජ සත්කාරයටත් දැන් විපක්ෂය මඩ ගහන්න පටන් ගෙන. ඇඳන් නැත්නම් ඇඳන් හදන්න ඕනෑ. ඒක තමා අපේ යුතුකම. එයාලා එක ඇඳක්වත් හදලාද අද කතා කරන්නේ. ප්‍රේමදාස මහත්තයා, ඇඳක් තියා අහිංසක දුප්පත් මනිසුන්ට කොවිඩ් හැදුණාම වතුර බෝතලයක්වත් දී නෑ. ඒක මේ රටේ මිනිස්සු දන්නවා. කිසි දෙයක් ජනතාවට නොදුන්, බොරුවට කෑගහන විපක්ෂයක් තමයි අද අපට ඉන්නේ. ඇඳවල් 10,000ක් අවශ්‍ය වන බවට සෞඛ්‍ය අංශ අපෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව අපි ඇඳන් 10,000ක් හදනවා. තවත් අවශ්‍ය දේවල් දෙනවා. එහෙම තමයි අපේ ආණ්ඩුව. ඒ ආණ්ඩුව දිහා විපක්ෂය වපර ඇහෙන් වගේම වෛරයෙන්, ක්‍රෝධයෙන් බලනවා. වැඩක් කර ගන්න බැරි විපක්ෂයට හැදිලා තියෙන මේ අසනීපයට අපි ළඟ බෙහෙත් නෑ. කවුරු මොනවා කිවුවත් අප අපේ වැඩ කටයුතු නොනවත්වාම කරගෙන යනවා.'

මේ නිරීක්ෂණ චාරිකාවට තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 

නව අදහස දක්වන්න