අයහපත් කාලගුණය 5කට මරු කැඳවයි | දිනමිණ

අයහපත් කාලගුණය 5කට මරු කැඳවයි

පුද්ගලයෝ 48,300ක් පීඩාවට

නිවාස 871කට හානි

හංවැල්ලේ පවුල් 100ක් අවතැන්

 

දිවයිනේ දිස්ත්‍රික් රැසකට බලපා ඇති අයහපත් කාලගුණය සමඟ ඇති වූ ආපදා හේතුවෙන් පුද්ගලයන් පස් දෙනකු මිය ගොස්, දිස්ත්‍රික් 9ක පවුල් 12,177කට අයත් පුද්ගලයන් 48,300ක් පීඩාවට පත් වී ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. කෑගල්ල, කොළඹ, කළුතර, ගම්පහ, කුරුණෑගල, රත්නපුර, ගාල්ල, මාතර, පුත්තලම සහ මහනුවර දිස්ත්‍රික්කවල ජනතාව එලෙස පීඩාවට පත්ව ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

අධික වැසි, ජල ගැලීම්, තද සුළං හේතුවෙන් පසුගිය දිනවල ඇතිවූ ආපදා තත්ත්වය මේ වන විට පහව යමින් තිබෙන බව ද එම මධ්‍යස්ථානය පවසයි.

අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින පුද්ගලයන්ට සිදුවූ හානි පිළිබඳ තක්සේරු වාර්තා අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා වන්දි ලබාදීමට සූදානම් බව ද පවසයි.

අයහපත් කාලගුණය හේතුවෙන් නිවාස 871කට හානි සිදුව ඇති බව පවසන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවාස 03ක් පූර්ණ හානිය ද තවත් නිවාස 868ක් අර්ධ හානි සිදුව ඇතැයි කියා සිටියේය.

කැලණි, කළු, ගිං, නිල්වලා යන ගංගා සහ මහ ඔය හා අත්තනගලු ඔය මේ වනවිටත් පිටාර ගලමින් පවතින බව පවසන එම මධ්‍යස්ථානය කැලණි ගඟේ ජල පෝෂක ප්‍රදේශවල පවතින අධික වැසි සමඟ කැලණිය හා ඒ අවට පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබේ.

ඉන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ, පෑලියගොඩ, කැලණිය, කොහිලවත්ත සහ බියගම ජනතාව වන අතර කැලණි ගඟ පිටාර ගැලීම නිසා හංවැල්ල සීවලීවත්ත ප්‍රදේශයේ පදිංචි පවුල් 100කට ආසන්න පිරිසක් ද මේ වනවිට අවතැන් වී හංවැල්ල මායාදුන්න මහා විද්‍යාලයේ රැඳී සිටිති. ඉකුත් දා (14) රාත්‍රි 7.00ට පමණ සිට සම්පූර්ණ ගම්මානයම ජලයෙන් යටවූ බවත් ගිං ගඟ පිටාර ගැලීමෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, තවලම ඇතුළු ප්‍රදේශ කිහිපයක පහත්බිම් ජලයෙන් යටවී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

එමෙන්ම බද්දේගම-උඩුගම මාර්ගය, බද්දේගම-දොඩංගොඩ මාර්ගය සහ බද්දේගම-හික්කඩුව පැරණි මාර්ගය ද කළුතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කුකුලේ ගඟ පිටාර ගැලීමත් සමඟ බුලත්සිංහල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් සහ මාර්ග රැසක් ජලයෙන් යටවී තිබේ.

මේ අතර ගලේවෙල, මීවලපතහ ප්‍රදේශයේ මලව ඔයේ මසුන් ඇල්ලීමට ගිය 54 හැවිරිදි තලකිරියාගම ප්‍රදේශයේ පුද්ගලයකු දියේ ගිලී මියගොස් තිබේ.

මේ අතර ජල ගැලීම් තත්ත්වයන් නිරීක්ෂණය සහ හදිසි ආපදා තත්ත්වයකදී මුදා ගැනීමේ කටයුතු සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් මත ගුවන් හමුදාවේ විශේෂ ගුවන් යානා කිහිපයක් යොදවා තිබේ. ඒ අනුව බස්නාහිර සහ දකුණු පළාත ආශ්‍රිතව උද්ගත වී ඇති ජල ගැලීම් තත්ත්වයන් නිරීක්ෂණය කිරීම සඳහා එම්.ඒ.60 සහ වයි.12 වර්ගයේ ගුවන් යානා දෙකක් යොදවා ඇත.

ඊට අමතරව බීච් ක්‍රාෆ්ට් යානයක් ද ජල ගැලීම් තත්ත්වයන් නිරීක්ෂණය කිරීම සඳහා සූදානම් කර ඇති බව ගුවන් හමුදාව සඳහන් කරයි.

මේ අතර බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානා 2ක් රත්මලාන සහ හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරුවල ද එම්.අයි.17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ ද හදිසි අවස්ථාවකදී ගංවතුරෙන් විපතට පත් ජනතාව ගලවා ගැනීමේ කණ්ඩායම් යෙදවීම සඳහා සූදානම් කර තිබේ.

ගිනිකොන දිග අරාබි මුහුද ආශ්‍රිතව පැවැති ටවුටේ සුළි කුණාටුව ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී උතුරට බරව වයඹ දිසාවට ගමන් කරමින් හෙට (18) දින ඉන්දියන් සාගරයේ ගුජරාටි වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. එම නිසා එමගින් ශ්‍රී ලංකාවේ කාලගුණය කෙරෙහි කරන බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇතැයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කෙරේ. ටවුටේ සුළි කුණාටුව නිසා කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී 60 දක්වා ද, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී 50 දක්වා ද වැඩිවිය හැකිය. ගිනිකොන දිග සහ නැඟෙනහිර - මධ්‍යම අරාබි මුහුද ආශ්‍රිත මුහුදු ප්‍රදේශ තුළ මුහුද ඉතා රළුවන අතර ඉතා තද සුළං පැ.කි.මී 50-70-80-100 වැඩි විය හැකිය. එම නිසා මෙම මුහුදු ප්‍රදේශවල සහ කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශවල ධීවර නාවික කටයුතුවල යෙදීමෙන් වැළැකී සිටින ලෙසත් පුත්තලම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

අද(17) දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කීපයක් ඇති වේ. මධ්‍යම, ඌව, නැඟෙනහිර සහ උතුරු මැද පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද උතුරු පළාතේ වැසි ස්වල්පයක්ද ඇති වේ.

කළු ගගේ මිල්කන්ද ප්‍රදේශයේ පැවැති සුළු ගංවතුර තත්ත්වයද, ගිං ගඟේ බැද්දේගම ප්‍රදේශයේ පැවැති ගංවතුර තත්තවයද, නිල්වලා ගඟේ පානදුගම ප්‍රදේශයේ පැවැති අනතුරුදායක තත්ත්වයද, අත්තනගලු ඔයේ දූනමලේ ප්‍රදේශයේ පැවැති සුළු ගංවතුර තත්ත්වයද ඊයේ(16) දහවල් වන විට අඩු වෙමින් පැවැති බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

නව අදහස දක්වන්න