නිවෙසින් පිටතට පැමිණීම හැඳුනුම්පත් අංක ක්‍රමයට | දිනමිණ

නිවෙසින් පිටතට පැමිණීම හැඳුනුම්පත් අංක ක්‍රමයට

සංචරණ සීමා අද (17) උදෑසන 4.00 සිට රාත්‍රී 11.00 දක්වා ඉවත් වුවද සාමාන්‍ය ජනතාවට නි‍ෙවසින් පිටතට පැමිණිය හැක්කේ හැඳුනුම්පත් ක්‍රමවේදයට පමණක් බව පොලිසිය අවධාරණය කරයි. එහෙත් රාජ්‍ය සහ පෞද්ගලික සේවා කාර්ය මණ්ඩල සහ අතවශ්‍ය සේවා සඳහා එය අදාළ නොවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එදිනෙදා රාජකාරී වලට නොයන පුද්ගලයන් නි‍ෙවසින් පිටතට පැමිණිය යුත්තේ හැඳුනුම්පතේ අවසාන ඉලක්කම අනුව ඔත්තේ ඉරට්ටේ දිනවලට වන අතර ඔවුන්ට අවසර ඇත්තේ ළගම පිහිටී පාරිභෝගික ස්ථානයට පමණක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය. එ‍ෙහත් මෙම මස 31 වෙනිදා දක්වා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ‍ෙජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නිර්දේශයන්ට අනුගතව කටයුතු කළ යුතු බවද හෙතෙම පෙන්වා දෙයි.

සමාජ ශාලා, කැෂිනෝ ස්ථාන, ඔට්ටු අල්ලන ස්ථාන, සංගීත සංදර්ශන, වෙරළ සාද, ගෘහස්ථ සාද ආදිය කිසි සේත්ම පැවැත්වීමට අවසර නොමැති බවද පොලිසිය පවසයි.

වෙළෙඳ සල්, කඩ සාප්පු, සුපිරි වෙළෙඳ සල්, රෙදි පිළි සාප්පු ආදිය පවත්වා ගෙන යෑමට හැකියාව ඇත්තේ සියයට විසිපහක ධාරිතාවයෙන් වන අතර එක් අයෙකුට ඝණ මීටර් 1.5ක ඉඩකඩක් තැබෙන පරිදි මෙම ආයතන පවත්වාගෙන යා යුතුය.

පොදු ප්‍රවාහන සේවා වල ගමන් කළ හැක්කේ ආසන සංඛ්‍යාවට පමණි. කුලී රථවල ගමන් කළ හැක්කේ රියදුරු හැරුණු විට තවත් දෙදෙනෙකුට පමණක් වන අතර සෑම ආයතනයක්ම පවත්වාගෙන යා යුත්තේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නිර්ණායකවලට අදාළව බවද එසේ නොකරන පුද්ගලයන් හා ආයතන පිළිබඳ සොයා බැලීමට විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

 

රක්ෂණ ශ්‍රියන්ත, භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්

නව අදහස දක්වන්න