එන්ඩොමෙට්‍රියෝසිස් පරදන්න හෝමෝනවලින් තොර නව ඔසුවක් | දිනමිණ

එන්ඩොමෙට්‍රියෝසිස් පරදන්න හෝමෝනවලින් තොර නව ඔසුවක්

 

එතරම් කතාබහට ලක් නොවුවද එන්ඩොමෙට්‍රියෝසිස් රෝගය කාන්තාවන් අතර අතිශය සුලබය. වැඩිවිය පත් සෑම කාන්තාවන් දස දෙනකුගෙන් එක් අයකුම සිය ජීවිතයේ යොවුන් වියේ සිට මැදිවිය දක්වා වූ කිනම් හෝ කාලයකදී හෝ ගොදුරු විය හැකි මේ තත්ත්වය කොකෙතරම් වේදනාකාරිද යන්න දන්නේ එවැනි තත්ත්වයකට ගොදුරු වූ අයකුමය. අතිශය වේදනාකාරි වන සේම එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යෑමට පවා අකුල් හෙළන මේ රෝගි තත්ත්වයට මුහුණ දෙන කාන්තාවන්ට සිය ජීවිත කාලය පුරා මෙය පාලනය කර ගෙන ජීවත් වනවා හැරෙන්න අන් විකල්පයක් නැත්තේ, එකී රෝගය සුව කළ හැක්කක් නොවන නිසාය. එහෙත් රෝගය පාලනය කිරීමට දෙන ප්‍රතිකාරද, අතුරු ආබාධ බහුල ඒවා වන්නේ ඒවා ප්‍රධානකොටම හෝමෝනමය ප්‍රතිකාර බැවිනි. මඳසරු බව එවැනි හෝමෝනමය ප්‍රතිකාරවල සුලබම අතුරු ආබාධයකි. එහෙත් මේ තත්ත්වය වෙනස් කරමින් එන්ඩොමෙට්‍රියෝසිස් රෝගය සාර්ථකව පාලනය කළ හැකි හෝමෝන රහිත, නවතම ප්‍රතිකාරයක් අනාවරණය කරගැනීමට එඩින්බර්ග් විශ්වවිද්‍යාලීය පර්යේෂකයන් පිරිසක් සමත්ව සිටිති.

 

ව්‍යාජ ගර්භාශ සෛල

එන්ඩෝමෙට්‍රියෝසිස් රෝගය හට ගන්නේ ගර්භාශ ආස්තරණයේ හෙවත් එන්ඩෝමේට්‍රියමේ පිහිටි සෛල, ගර්භාශයෙන් පිටත සිරුරේ වෙනත් ස්ථානවල පිහිටීම නිසාය. බොහෝ විට ශ්‍රෝණිය ආශ්‍රිතව මෙවැනි ව්‍යාජ ගර්භාශ සෛල පිහිටන අතර, සෑම මාසයකම ඔසප් වීමේදී ගර්භාශ ආස්තරණය බිඳ වැටී රුධිර වහනය වන්නාක් සේම, මෙකී සෛලද බිඳ වැටී ගර්භාශයෙන් පිටතට රුධිරය වහනය වීම සිදු වේ. මේ නිසා මාසික ඔසප් වීමේදී සේම ඔසප් චක්‍රයෙන් බැහැර කාලයේදී පවා අධික වේදනාවකින් පීඩා විඳීමට එන්ඩෝමෙට්‍රියෝසිස් රෝගයට ලක් වූ කාන්තාවන්ට සිදු වේ. එපමණක්ද නොව මෙලෙස ගර්භාශ ආස්තරණයේ සෛල ඉන් පිටත විවිධ ස්ථානවල වර්ධනය වීම බඩවැල්, මූත්‍රාශය වැනි වෙනත් අවයවලටද බලපෑම් එල්ල කිරීමටත්, නිතර නිතර තෙහෙට්ටුව, මානසික අසහනය වැනි ගැටලුකාරි තතත්ත්ව ඇති කිරීමටත් හේතු වන්නකි. මෙලෙස ගර්භාශයෙන් පරිබාහිරිව වර්ධනය වන එන්ඩ්‍රොමේට්‍රියම් සෛල සැත්කම් මඟින් ඉවත් කිරීමට හැකියාව තිබුණද, එය දිගු කාලීන ස්ථීර ප්‍රතිකර්මයක් නොවන්නේ සැත්කමෙන් වසර පහක් වැනි කෙටි කාලයක් තුළ නැවත ඒ සෛලවල වර්ධනයක් සිදු වන බැවිනි.

 

සුභවාදි බලාපොරොත්තු

එන්ඩොමෙට්‍රියෝසිස් සඳහා දැනට භාවිත වන අනෙක් ප්‍රතිකාරය වන්නේ හෝමෝන චිකිත්සාවයි. සාමාන්‍යයෙන් එන්ඩොමේට්‍රියම් සෛල වර්ධනය වන්නේ ඊස්ට්‍රජන් හෝමෝනයේ බලපෑම හේතුවෙනි. මේ නිසා ඩිම්බකෝෂවලින් ඊස්ට්‍රජන් හෝමෝනය නිෂ්පාදනය කිරීම අවහිර කිරීමට හෝ අවම කිරීමට හේතු වන උපත් පාලන පෙති, සොලඩෙක්ස් වැනි ගොනැඩොට්‍රෝෆින් හෝර්මෝනය මුදාහරින නික්ෂේපණ හා මිරේනා වැනි උපත් පාලන මෙවලම් ආදියෙන් මෙම තත්ත්වය යම් තාක් දුරකට පාලනය කිරිමට හැකියාව තිබේ. එහෙත් වමනය, හිසරුදාව, චෛතසික තත්ත්වයේ වෙනස්කම් වැනි අතුරු ආබාධ හට ගැනීමත්, සාඵල්‍යතාවට බලපෑම් එල්ල වීමත් හේතුවෙන්, පවුලක් ගොඩනැඟීමට බලාපොරොත්තු වන කාන්තාවන් හට මෙම හෝ්මෝනමය ප්‍රතිකාර ගැනීම එතරම් සාර්ථක විසඳුමක් වන්නේ නැත. අනෙක් අතට එබඳු ප්‍රතිකාර අත්සිට වූ සැණින් රෝග ලක්ෂණ නැවත මතුවීමද නොවැළැක්විය හැකිය. මේ සියල්ලට විසඳුම් ගෙන ඒමට එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් සොයාගත් මේ නවතම ඖෂධය සමත් වනු ඇති බවට දැනටමත් සුභවාදි බලාපොරොත්තු පළව තිබේ.

 

පිළිකා සෛල

ඩයික්ලෝරෝඇසිටේට් නමැති මේ ඖෂධය අනෙක් අතට වෛද්‍ය විද්‍යාවට නවමු වූවක්ද නොවේ. ළමයින්ගේ පරිවෘත්තීය සම්බන්ධ විරල රෝගවලට ප්‍රතිකාරයක් ලෙස දැනටමත් භාවිත කෙරෙන ඩයික්ලෝරෝඇසිටේට් වූකලි ඇතැම් පිළිකා සඳහා ප්‍රතිකාරයක් ලෙසද යොදාගත හැකිද යන්නට අවධානය යොමුව ඇති ඖෂධයකි. සෛලවලට ශක්තිය සපයන බලාගාරය ලෙස සැලකෙන මයිටොකොන්ඩ්‍රියාවල සිදු වන පරිවෘත්තීය ක්‍රියාවලියේ වෙනස්කම් අවහිර කිරීමට මේ ඩයික්ලෝරේඇසිටේට් සමත් වනවා පමණක් නොව සෛලීය ක්‍රියාකාරකම් යළිත් සාමාන්‍ය තත්ත්වයට පරිවර්තනය කිරීමටද ඊට අපූර්ව හැකියාවක්ද තිබේ. අලුතින්ම කළ පරියේෂණයන්ගෙන් හෙළිව ඇත්තේ, එන්ඩොමෙට්‍රියෝසිස් රෝගයෙන් පෙළෙන කාන්තාවන්ගේ ශ්‍රෝණි ප්‍රදේශයේ වන අසාමාන්‍ය එන්ඩොමේට්‍රියම් සෛල ඩයික්ලෝරෝඇසිටේට් හමුවේ සැලකිය යුතු හැකිළෙන බවය. මේ අනාවරණයට පාදක වූයේ 2019 වසරේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් එන්ඩොමෙට්‍රියෝසිස් රෝගයෙන් පෙළෙන කාන්තාවන්ගේ ශ්‍රෝණි බිත්තියේ ස්වභාවය සම්බන්ධයෙන් කළ අධ්‍යයනයකිනි. එහිදී ඔවුන් විසින් අනාවරණය කරගන්නා ලද්දේ එවැනි කාන්තාවන්ගේ ශ්‍රෝණි බිත්තියේ පරිවෘත්තිය සිදු වන්නේ වෙනස් ආකාරයකින් බවයි. එහිදී අසාමාන්‍ය ලෙස ඉහළ මාත්‍රාවන්ගෙන් ශ්‍රෝණි බිත්ති සෛලවලින් ලැක්ටේට් රසායනිකය ස්‍රාවය වීමක් වන අතර, අසාමාන්‍ය එන්ඩෝමේට්‍රියම් සෛල ශ්‍රෝණිය ඇතුළු සිරුරේ වෙනත් ස්ථානවල වර්ධනය වීමක්, එකී ලැක්ටේට් රසායනිකයෙන් උත්තේජනය වේ. මෙහිදී ලැක්ටේට් ස්‍රාවය කරන අසාමාන්‍ය ශ්‍රෝණි සෛලද ක්‍රියාත්මක වන්නේ පිළිකා සෛලවලට බෙහෙවින් සමාන ආකාරයකටය. ඩයික්ලෝරෝඇසිටේට් පිළිකා රෝගවලට ප්‍රතිකාරයක් ලෙසද අත්හදා බැලෙන්නේ මේ නිසාය. මීයන්ට ඩයික්ලෝරෝඇසිටේට් දී කළ අධ්‍යයනයකින් තහවුරු වූයේ සතියකට පමණ පසු ඔවුන්ගේ සිරුරේ වන ලැක්ටේට් මට්ටම සේම එන්ඩොමෙට්‍රියෝසිස් සෛලද සැලකිය යුතු අන්දමින් අඩු වී ඇති බවයි.

 

නාරිවේදය

මින් ලද දිරියෙන් යුතුව එන්ඩොමෙට්‍රියෝසිස් රෝගයේත් වඩාත්ම සුලුබම ‘superficial peritoneal disease’ නමැති තත්ත්වයෙන් පීඩා විඳින කාන්තාවන් තිස් දෙනකුට ඩයික්ලෝරේ ඇසිටේට් දීමට පර්යේෂකයෝ පියවර ගත්හ. එහිදි සෑම කාන්තාවකගේම ශරීර ස්කන්ධයට අනුපාතිකව දිනකට දෙවරක් බැගින් සති හයක කාලයක් මුළුල්ලේ මේ ඖෂධය දී ඔවුන්ගේ කායික වේදනාවන්ගේ කිසියම් අඩුවක් සිදු වේ දැයි නිරීක්ෂණය කරනු ලැබිණි. මේ අධ්‍යයනයේ ප්‍රධාන පර්යේෂණ නිලධාරි, නාරිවේදය පිළිබඳ මහාචාර්යවරයකු වන ඇන්ඩ්රූ හෝන් පවසන්නේ එකි කාන්තාවන්ගෙන් බහුතරයක්ම සිය රෝග ලක්ෂණ සම්බන්ධයෙන් ප්‍රගතියක් අත් කරගෙන තිබූ බවයි. වැඩිදුර පර්යේෂණවලින් අනතුරුව, දෛනිකව ගන්නා පෙත්තක් වෙනුවට සිරුරේ ස්ථිරවම තැන්පත් කළ හැකි මෙවලමක් ආධාරයෙන් එය දීමට මහචාර්ය හෝන් බලාපොරොත්තු පළ කරයි. පෙති ලෙස ගන්නවාට වඩා මේ ක්‍රමයේ ඇති වාසිය වන්නේ දිනපතාම එකම වේලාවකට එය ගැනීමට මතකයේ තබා ගැනීමට අවශ්‍ය නොවනවා සේම, රෝගය පවතින ස්ථානයටම ඍජුවම ප්‍රතිකාරය දීමට ඇති හැකියාවය. මේ නිසා අතුරු ආබාධද අවම වනු ඇති බවට අපේක්ෂා කෙරේ. සමස්තයක් වශයෙන් හෝමෝනමය ප්‍රතිකාර ගන්නවාට වඩා ඩයික්ලෝරෝඇසිටේට් ගැනීමේදී මතු වන අතුරු ආබාධ පවතින්නේ බෙහෙවින්ම අඩු මට්ටමක වීම, එන්ඩොමෙට්‍රියෝසිස් රෝගය සම්බන්ධයෙන් එය ප්‍රතිකාරයක් ලෙස යොදා ගැනීමේ ඇති දැවැන්තම වාසියකි. දරුවන් අපේක්ෂාවෙන් සිටින කාන්තාවන්ට වුවද, බියකින් තොරවම මේ ඖෂධය ගැනීමට හැකි වීම එන්ඩොමෙට්‍රියෝසිස් රෝගයෙන් පීඩා විඳින විවාහක කාන්තාවන්ට මහත් සහනයක් වනු ඇත.

 

 රුක්ලන්ති පෙරේරා

නව අදහස දක්වන්න