සණස, බෙලිඅත්ත ආදර්ශ කාබනික පොහොර ඒකකය සඳහා පහසුකම් සලසමින් ශ්‍රී ලංකාවේ කාබනික ගොවිතැන නගාසිටුවීමට උපකාරී වෙයි | දිනමිණ

සණස, බෙලිඅත්ත ආදර්ශ කාබනික පොහොර ඒකකය සඳහා පහසුකම් සලසමින් ශ්‍රී ලංකාවේ කාබනික ගොවිතැන නගාසිටුවීමට උපකාරී වෙයි

සණස ව්‍යවසාය මූල්‍ය ප්‍රවීණතා මධ්‍යස්ථානය (SEFEC) බෙලිඅත්තේ පිහිටුවන ලද නවතම ආදර්ශ කාබනික පොහොර ඒකකය මගින් කෘෂි ව්‍යාපාරිකයින් සඳහා යටිතල පහසුකම් සපයමින්, ශ්‍රී ලංකාවේ කාබනික වගාව නංවාලීම සඳහා අඛණ්ඩ කැපවීමෙන් කටයුතු කරයි. ඒ ඔස්සේ, රසායනික පොහොර භාවිතයට එරෙහිව සාර්ථක කාබනික වගා ක්‍රමයක් සහතික කිරීමට එම මධ්‍යස්ථානය අපේක්ෂා කරයි.
 
කාබනික කෘෂි කර්මාන්තයේ දී අවධානය යොමු කෙරෙන ප්‍රධාන කරුණක් වන්නේ, ගුණාත්මක කාබනික පොහොර පහසුවෙන්, සාධාරණ මිලට ගොවි බිම් ආසන්නයෙන් ලබා ගැනීමට හැකි වීමයි. ඒ අනුව, මසකට කාබනික පොහොර කිලෝග්‍රෑම් 1500 ක් පමණ නිපදවන බෙලිඅත්ත කාබනික පොහොර නිෂ්පාදනාගාරයේ නිෂ්පාදන පුළුල් කිරීම සඳහා සණස සංවර්ධන බැංකුව හරහා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට SEFEC ව්‍යාපෘතිය මගින් අත්වැල සැපයිණි. 
 
එමෙන්ම,පශ්චාත් කෝවිඩ් 19 තත්ත්වය හමුවේ දියත් කළ ක්ෂණික වැඩසටහන යටතේ, ගවයින් ඇති කරන්නන්ගේ සංගමයක් පිහිටුවීමට හා නිෂ්පාදනාගාරයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා අර්ධ ස්වයංක්‍රීයකරණ පද්ධතියක් මිලදී ගැනීම පිණිස මූල්‍ය ආධාර සැපයීමටද SEFEC වෙතින් පහසුකම් සැපයිණි. 
 
මින් කලාපයේ කාබනික පොහොර ඉල්ලුම සපුරාලීමය හැකියාව සලසමින්, නිෂ්පාදන ධාරිතාව දස ගුණයකින් වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 
 
නිපදවන කාබනික පොහොර වියළි කොම්පෝස්ට් හා දියර ආකාරවලින් ලබා ගත හැකි අතර එය පළිබෝධ පලවා හැරීම සඳහා මෙන්ම, 100% ක් වල් පැලෑටිවලින් තොර වගා බිමක් ලබා ගැනීමටද ඉවහල් වන තරගකාරී පොහොරකි.
 
 එමෙන්ම, පෝෂණ සංඝටක වාර්තා සඳහා කාර්මික තාක්ෂණ ආයතනයට (ITI) යවන ලද සාම්පල මගින් පෙන්වන පරිදි, අත්‍යවශ්‍ය ප්‍රධාන පෝෂ්‍ය සංඝටකවලින්ද පොහොසත්ය.
 
සණස ඉන්ටර්නැෂනල් සමාගම සහ DID Canada (Development international Desjardins) මගින් 2017 වසරේ පිහිටුවන ලද සණස ව්‍යවසාය මූල්‍ය ප්‍රවීණතා මධ්‍යස්ථානය (SEFEC) සහල්, ගම්මිරිස්, කෙසෙල් සහ සංචාරක යන තෝරාගත් වටිනාකම් දාම හතර ඔස්සේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල තිරසර වර්ධනයට පහසුකම් සැලසීමට අරමුණු කරයි.
 
 එම වටිනාකම් දාම සංවර්ධනය කිරීම හා මූල්‍යකරණය සඳහා වන සණස ජාලයේ කේන්ද්‍රීය ස්ථානයක් ලෙසින් සමූපාකාර ශක්තිමත් කිරීමේ වැදගත්කම SEFEC හඳුනාගෙන ඇති බැවින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ඉවහල් වන උසස් නිෂ්පාදන හා සේවා බිහි කිරීමට දේශීය සණස සමිතිවලට පහසුකම් සලසයි.
 
කෝවිඩ් 19 ව්‍යාප්ත වීමත් සමග මතු වූ සෘණාත්මක බලපෑමෙන් මිදීම සඳහා ව්‍යාපෘතියට අදාළ ප්‍රදේශයන්හි ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා සහාය ලබා දීමේ අරමුණින් SEFEC වෙතින් ඉකුත් වසරේ අප්‍රේල් මස ක්ෂණික වැඩසටහනක් දියත් කෙරිණි. මාස 6 ක කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ මෙම වැඩසටහන සඳහා Global Affairs Canada වෙතින් රු. මිලියන 77.7 ක් සපයනු ලැබිණි. කුඩා වතු හිමි ගොවීන් සහ ග්‍රාමීය කාන්තා ව්‍යවසායකයින් සඳහා බෝග විවිධාංගීකරණ ප්‍රවර්ධනය කිරීම ආදී ප්‍රමුඛතා ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු කළ එකී වැඩසටහන මගින් අගය එකතු කළ නිෂ්පාදන සඳහා සැකසුම් උපකරණ හඳුන්වාදීම, වෙළෙඳ පොළ සම්බන්ධතා සඳහා පහසුකම් සැලසීම, උතුරු පළාතේ ප්‍රජා පාදක සංචාරක කටයුතු නැවත දියත් කිරීමට පදනම සැකසීම හා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සඳහා ණය පහසුකම්  සැලසීම සිදු කෙරිණි.

නව අදහස දක්වන්න