සණස ඕගොඩපොළ ආදර්ශ කුළුබඩු නිෂ්පාදනාගාරය මගින් ග්‍රාමීය ප්‍රජාව සවිබල ගන්වයි | දිනමිණ

සණස ඕගොඩපොළ ආදර්ශ කුළුබඩු නිෂ්පාදනාගාරය මගින් ග්‍රාමීය ප්‍රජාව සවිබල ගන්වයි

සණස ව්‍යවසායක මූල්‍ය ප්‍රවීණතා මධ්‍යස්ථානය (SEFEC) කුරුණෑගල දිස්ත්‍රික්කයේ රීදීගම ආදර්ශ කුළුබඩු සැකසුම් නිෂ්පාදනාගාරය මගින් ග්‍රාමීය ප්‍රජාව සවිබල ගැන්වීමට පියවර ගෙන තිබේ. එහි සමාරම්භක උළෙල, වයඹ පළාත් ප්‍රධාන ආණ්ඩුකාර ගරු රාජා කොල්ලුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් වයඹ පළාත් සභාවේ හිටපු සභාපති ගරු ආර්. ඩී විමලදාස, වයඹ පළාත් සමුපකාර කොමසාරිස් කේ.එම්.එච්.එස්.කේ.ජයලත් සහ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද, පොල්ගහවෙල සණස ට්‍රස්ට් පදනමේ සභාපති බී. ආර් අබේවික්‍රම බණ්ඩාර යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
 
ග්‍රාමීය ජනතාව වෙත මෙවැනි නිෂ්පාදනාගාර සමීප කිරීමේ SEFEC හි අරමුණ, ශ්‍රී ලංකාව තුළ සමූපකාර ව්‍යවසාය සවිබල ගැන්වීමයි. පොල්ගහවෙල සණස ට්‍රස්ට් පදනම විසින් පහසුකම් සපයන ලද මෙය රීදීගම සණස යූනියන්, කන්දෙගෙදර සණස ප්‍රාථමික සමාජය සහ ඕගොඩපොළ ගම්මිරිස් නිෂ්පාදක සංවිධානය, ශ්‍රී ලංකාවේ ගම්මිරිස් කර්මාන්තයට අදාළ කෘෂි කර්ම දෙපාර්තමේන්තුව, ප්‍රමිති ආයතනය, අපනයන සංවර්ධන මණ්ඩලය වැනි රජයේ ආයතන මෙන්ම පෞද්ගලික ආයතන, දේශීය විශේෂඥයින් හා ගොවීන් ඇතුළු සණස ජාලයේ සියලුම පාර්ශවකරුවන් හරහා සිදු කරන ලද විශ්ලේෂණ හා පර්යේෂණයන්හි ප්‍රතිඵලයකි.
 
ව්‍යාපෘතිය මගින් ගම්මිරිස් තීර හෙවත් කලාපීය වශයෙන් ගම්මිරිස් වගා කරන ප්‍රදේශ හඳුනාගෙන ඇති අතර, ජාත්‍යන්තර වෙළෙඳ පොළ සඳහා උසස් තත්ත්වයේ නිෂ්පාදන සඳහා අවශ්‍ය දැනුම, තාක්‍ෂණය සහ සහාය ලබා දෙමින් දේශීය ගොවීන්ට උපරිම ප්‍රතිලාභ හිමිකර දේ. ජාත්‍යන්තර වෙළෙඳ පොළ අවශ්‍යතා සපුරාලීම සඳහා ගුණාත්මක ගම්මිරිස් ඵලදාව වර්ධනය කිරීම මගින් ගොවීන්ට උපරිම මිලක් සහතික කිරීම මෙහි පරමාර්ථයයි.
 
නිෂ්පාදනාගාරය ඕසෝන් තාක්‍ෂණයෙන් බල ගැන්වෙන ඕසෝන් රෙඩ්ෆාර්ම් නම් විජලන යන්ත්‍රයකින්ද සමන්විත වන අතර, ඉන් බෝග වලට එක්වන ඇප්ලෝටෙක් නම් විෂ සහිත දිලීර සහ බැක්ටීරියා සම්පූර්ණයෙන්ම ඉවත් කෙරේ.
 
පැය 6-7 අතර කාලයක් තුළ අස්වැන්න රාත්තල් 1,000 ක් දක්වා වියළා ගැනීමට හැකියාව පැවතීම විශේෂත්වයකි.
 
කරාබු නැටි, සාදික්කා, කහ, ඉඟුරු, වැනි කුළුබඩුවල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට ද මෙම පහසුකම යොදා ගැනේ. රීදීගම සණස සංගමයට අයත් මෙම නිෂ්පාදනාගාරය, වසර 10 ක කාලයක් තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ඕගොඩපොළ ගම්මිරිස් නිෂ්පාදකයින්ගේ සංවිධානය සඳහා බදු දී ඇත. ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව තුළ ව්‍යවසායක මූල්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවීමේ EFECS ව්‍යාපෘතිය මගින් ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් වන, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පිරි නැමෙන හොඳම කෘෂිකාර්මික භාවිතයන් පිළිබඳ (GAP) සහතිකය නොමිලේ නිකුත් කිරීමටද කටයුතු යොදා තිබේ. ව්‍යාපෘතිය මගින් පුහුණුව ලැබූ සාමාජිකයින් 21 කට අධික සංඛ්‍යාවක් ගම්මිරිස් නිෂ්පාදක සංවිධානය සතුව සිටින අතර, නිෂ්පාදනාගාරය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (DEA) මගින් විගණනයටද ලක් කෙරේ. මෙම නිෂ්පාදනාගාරය මගින් ප්‍රදේශයේ කුඩා වතු හිමියන් 300 කට පමණ ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි අපේක්ෂිත අතර, ව්‍යාපෘතිය මගින් කුළුබඩු අපනයනකරුවෙකු
වන Verger Naturals ආයතනය හා වෙළෙඳ පොළ සම්බන්ධතා පවත්වනු ලැබේ.
 
සණස ඉන්ටර්නැෂනල් සමාගම සහ DID Canada (Development international Desjardins) මගින් 2017 වසරේ පිහිටුවන ලද සණස ව්‍යවසාය මූල්‍ය ප්‍රවීණතා මධ්‍යස්ථානය (SEFEC), සමූපාකාර ශක්තිමත් කිරීමේ වැදගත්කම හඳුනාගෙන සහල්, ගම්මිරිස්, කෙසෙල් සහ සංචාරක යන තෝරාගත් වටිනාකම් දාම හතර ඔස්සේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ඉවහල් වන උසස් නිෂ්පාදන හා සේවා බිහි කිරීමට දේශීය සණස සමිතිවලට පහසුකම් සලසයි. කෝවිඩ් 19 ව්‍යාප්ත වීමත් සමග සෘණාත්මක බලපෑමෙන් මිදීම සඳහා ව්‍යාපෘතියට අදාළ ප්‍රදේශයන්හි ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා සහාය ලබා දීමේ අරමුණින් SEFEC වෙතින් ඉකුත් වසරේ අප්‍රේල් මස ක්ෂණික වැඩසටහනක්ද දියත් කෙරිණි.
 
 මාස 6 ක කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ මෙම වැඩසටහන සඳහා Global Affairs Canada වෙතින් රු. මිලියන 77.7 ක් සපයනු ලැබිණි. කුඩා වතු හිමි ගොවීන් සහ ග්‍රාමීය කාන්තා ව්‍යවසායකයින් සඳහා බෝග විවිධාංගීකරණ ප්‍රවර්ධනය කිරීම ආදී ප්‍රමුඛතා ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු කළ එකී වැඩසටහන මගින් අගය එකතු කළ නිෂ්පාදන සඳහා සැකසුම් උපකරණ හඳුන්වාදීම, වෙළෙඳ පොළ සම්බන්ධතා සඳහා පහසුකම් සැලසීම, උතුරු පළාතේ ප්‍රජා පාදක සංචාරක කටයුතු නැවත දියත් කිරීමට පදනම සැකසීම හා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සඳහා ණය පහසුකම් සැලසීම සිදු කෙරිණි.
 

නව අදහස දක්වන්න