නැවෙන් උපරිම වන්දි ගන්නවා | දිනමිණ

නැවෙන් උපරිම වන්දි ගන්නවා

පරිසරයට, ධීවර ක්ෂේත්‍රයට, රටේ ආර්ථිකයට සිදු වූ හානිය සලකා බලනවා

එම් වී එක්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් රටේ ආර්ථිකයට, පරිසර පද්ධතියට, ධීවර කටයුතුවලට මෙන්ම විවිධ ක්ෂේත්‍රවලට සිදු වූ හානියට උපරීම වන්දි මුදලක් අය කර ගැනීමට කටයුතු කරන බව අධිකරණ ඇමැති, ජනාධිපති නීතිඥ එම්යූඑම් අලි සබ්රි මහතා ඊයේ (07) පැවසීය.

වන්දි ලබා ගැනීමට අදාළ නෛතික කටයුතු පිළිබඳ අධිකරණ අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඇමැතිවරයා එසේ පැවසීය. වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, විසිතුරු මසුන් මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන බහුදින ධීවර වරාය කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර. නීතිපති, සංජේය රාජරත්නම් මහතා ඇතුළු විශේෂ පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම සාකච්ජාව පැවැත්වූ අතර හානි පූර්ණය කර ගැනීම සඳහා නීති ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රියාවලියේදී නීතිපති දෙපාර්තමේන්තුව විසින් ගනු ලබන නීතිමය කටයුතු සඳහා සහාය දැක්වීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ වේ. නෞකාවෙන් සිදුවූ හානිය හා බලපෑම පිළිබඳ පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ඊට අදාළ ආයතන මේ වන විට සිය විමර්ශන ආරම්භ කර ඇති අතර ඊට නීතිපති දෙපාර්තමේන්තුවේ පූර්ණ සහාය ලබාදීම පිළිබඳ ද මෙහිදී විශේෂයෙන් සාකච්ඡාවට භාජනය විය.

නෞකාව පිළිබඳ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින ලඝු නොවන නඩු විභාගයන්හිදී පොලිසියට අවශ්‍ය නීතිමය සහාය නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥවරුන්ගේ සහාය ලබාදීම කෙරෙහි ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

වන්දි අයකර ගැනීමේ නීති කටයුතු සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේදී පරිසරයට, ධීවර ක්ෂේත්‍රයට, රටේ ආර්ථිකයට, ගින්න හේතුවෙන් මේ දක්වා සිදු කර ඇති හා ඉදිරියට සිදු කරන වියදම් පියවා ගැනීම වෙනුවෙන් වන්දි ලබා ගැනීමේ ක්‍රියාදාමය සඳහා නීතිපතිවරයාට පූර්ණ වශයෙන් සහයෝගය දැක්වීමට සාමූහිකව එක්විය යුතු බවත්, මේ සඳහා ක්ෂේත්‍රයේ උගතුන්ගේ බුද්ධිමතුන්ගේ සහාය ලබා ගැනීමට කටයුතු කර ඇති බවත්, උපරිම වන්දි මුදල මෙරටට ලබා ගැනීමට නීතිමය ලෙස ක්‍රියාකරන බවට වූ සහතිකය ලබා දෙන බවත්, අධිකරණ අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙම සාකච්ඡාව සඳහා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ, වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල්, විසිතුරු මසුන් මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන බහුදින ධීවර වරාය කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත චන්ද්‍රසෝම, නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ හා අපද්‍රව්‍ය බැහැර ලීමේ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රී නිමල් පෙරේරා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජනරාල් දයා රත්නායක මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

රෝෂන් තුෂාර

නව අදහස දක්වන්න