කොල්ලුපිටියේ සාදයක් පැවැත්වූ විදේශිකයන් දෙදෙනකු ඇතුළු 9ක් අත්අඩංගුවට | දිනමිණ

කොල්ලුපිටියේ සාදයක් පැවැත්වූ විදේශිකයන් දෙදෙනකු ඇතුළු 9ක් අත්අඩංගුවට

කොල්ලුපිටිය සුපිරි මහල් නිවාස සංකීර්ණයක ඉහළ මාලයේ පිහිනුම් තටාකයක් අසල නිරෝධායන සංචරණ සීමා උල්ලංඝනය කරමින් සාදයක් පැවැත්වූ විදේශිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් 9 දෙනකු පෙරේදා (9) කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ පිරිස ඊයේ (10) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, එක් අයකු ලක්ෂ 10ක ශරිර ඇප මත මුදා හැරීමටත් ඔවුන් එම නිවාස සංකීර්ණයේදීම නිරෝධායනයට යොමු කරන ලෙසත් අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා නියෝග කළේය.

පොලිසිය විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් ගත් ලිපියක් අධිකරණය හමුවේ ඉදිරිපත් කර සිටියේය.

අනතුරුව එම ලිපිය සලකා බැලූ මහේස්‌ත්‍රාත්වරයා සියලු සැකකරුවන් එම කොල්ලුපිටිය ක්‍රෙස්කැට් මොනාච් අති සුඛෝපභෝගි නිවාස සංකීර්ණයේදී නිරෝධායනයට යොමු කරන මෙන් පොලිසිය වෙත උපදෙස් දී මෙසේ ඇප නියම කළේය.

අත්අඩංගුවට ගත් 9 දෙනා අතර පිරිමි පුද්ගලයන් 6 දෙනකු සහ කාන්තාවන් 3 දෙනකු සිටින බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයන් අතර විදේශීය ජාතිකයන් 2ක්ද කාන්තාවන් අතර එක් විදේශීය ජාතික කාන්තාවක්ද සිටින බවට අනාවරණය වී ඇත. කොල්ලුපිටිය පොලිසිය වැඩි දුර විමර්ශන පවත්වයි.

සිරන්ජනි කුමාරි සහ රක්ෂණ ශ්‍රියන්ත

නව අදහස දක්වන්න