ක්‍රිකට් ක්‍රීඩකයන් අල්ලේ නටවන නූල් සූත්තර මැනේජර්ලා | දිනමිණ

ක්‍රිකට් ක්‍රීඩකයන් අල්ලේ නටවන නූල් සූත්තර මැනේජර්ලා

සිතුවම - අන්තර්ජාලය ඇසුරෙනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඇතැම් පෞද්ගලික කළමනාකරුවන් දෙන උපදෙස් හේතුවෙන් ජාතික ක්‍රිකට් පිලට බලපෑම් එල්ල වෙමින් පවතින බව වාර්තා වේ. පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නව කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීමේදී මතු වූ ගැටලුකාරී තත්ත්වයටද ඇතැම් පෞද්ගලික කළමනාකරුවන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට දුන් උපදෙස් බලපෑ බව ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ බොහෝ දෙනකු අතර කතාබහට ලක්ව ඇති මාතෘකාවකි.

“ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පෞද්ගලික කළමනාකරුවන්ගෙන් කිසිම දෙයක් වෙන්නේ නෑ. ඔවුන් ක්‍රීඩකයන්ව ඉදිරියට දාගෙන මුදල් හම්බ කරනවා. වැරදි මාර්ගයේ යවනවා. වැරදි උපදෙස් දෙනවා. ක්‍රීඩකයන් තමුන්ට පැවැරුණ වගකීම රට වෙනුවෙන් ඉටු කොට දෙවනුව අයිතිවාසිකම් ගැන කතා කළ යුතුයි. පැවැරුණ වගකීම කෙසේ වෙතත් මුලින්ම කතා කරන්නේ අයිතිවාසිකම් ගැනයි. මේවා සියල්ල සිදු වන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පෞද්ගලික කළමනාකරුවන්ගේ උපදෙස් අනුවයි. එදා ක්‍රිකට් ක්‍රීඩකයන් මෙහෙයවූයේ මව්පියන්, ගුරුවරුන් හා පුහුණුකරුවන්. අද ක්‍රීඩකයන් මෙහෙයවන්නේ මුදලට වැඩ කරන කළමනාකරුවන්. ඒ නිසා සියල්ල විකෘති වෙලා” ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හැසිරීම් රටාව නිරීක්ෂණය කිරීමේදී සතර අතින් නැගෙන චෝදනාවකි.

ඇතැම් ක්‍රීඩකයන්ට භාෂා ප්‍රශ්න වැනි දේ හේතුවෙන් ඔවුන්ගේ කටයුතු කර ගැනීමට කළමනාකරුවන්ගේ සේවය අවශ්‍ය වන බව සැබෑවකි. ක්‍රිකට් ක්‍රීඩකයන් විදෙස් රටවල පැවැත්වෙන තරගාවලි සඳහා යොමු කිරීමේ සම්බන්ධීකාරකයා ද ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පෞද්ගලික කළමනාකරුවන් වීම හේතුවෙන් ක්‍රීඩකයන්ට පෞද්ගලික කළමනාකරු නැතිවම බැරි චරිතයක් වී තිබේ. මේ තත්ත්වය උදා වූයේ 1996 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් අනතුරුවය. එදා ලෝක කුසලානය දිනා ගන්නා කණ්ඩායමේ සිටි කිසිදු ක්‍රීඩකයකුට පෞද්ගලික කළමනාකරුවන් සිටි බවක් අසා නැත. එකල ක්‍රීඩකයන්ට මුදල් ගෙවීම් හා කොන්ත්‍රාත් අත්සන් කිරීමේදී ගැටලු වාර්තා නොවූ අතර, රට වෙනුවෙන් ක්‍රීඩා කරන එක් නායකත්වයක් යටතේ සිටි දක්ෂ ක්‍රීඩකයන් පිරිසක් නිර්මාණය විණි.

එහෙත් වර්තමානයේ ජාතික ක්‍රිකට් පිලේ ක්‍රීඩකයන් 5ක් 6ක් එක් කළමනාකරුවකු යටතේ පවතින විට තත්ත්වය කෙබඳු වන්නේද? එවැනි තත්ත්වයක් යටතේ ජාතික ක්‍රිකට් පිලට හෝ ක්‍රිකට් ආයතනයට කිසිදු බැදීමක් නැති ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පෞද්ගලික කළමනාකරුවන්ට ක්‍රීඩකයන් සමඟ තිරය පිටුපස සිට ඕනෑම මෙහයුමක් සිදු කළ හැකි බව පැහැදිලිය. එබැවින් තරග පරාජයේදී එම පරාජය සිදු වූයේ කෙසේද? කොතැනින්ද යන්න ගැඹුරු විශ්ලේෂණයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කළ යුතුය.

බංග්ලාදේශ ක්‍රිකට් සංචාරයේදී අන්ත පරාජයක් ලබමින් පැමිණි ක්‍රිකට් ක්‍රීඩකයන්ට නව කොන්ත්‍රාත් ගිවිසුම කේවල් කිරීමට ශක්තියක් ලැබුණේ මුදලට වැඩ කරන කළමනාකරුවන් හේතුවෙන් බව පැවසේ. එක් කළමනාකරුවකු යටතේ ක්‍රීඩකයන් විශාල පිරිසක් සිටින විට ක්‍රීඩකයන්ගේ ඉල්ලීම් හා වගකීම පිළිබඳ ගැටලු වැඩ වර්ජන ස්වරූපයට පත්වීම වැළැක්විය නොහැකිය. කළමනාකරු තමන් යටතේ සිටින ක්‍රීඩකයන්ට දෙන උපදෙස් අනුව රට ජාතිය පිළිබඳ සිතීම කෙසේ වෙතත් තම ඉල්ලීම් ගැන පමණක් අවධානය යොමු කිරීම ක්‍රිකට් ක්‍රීඩකයන් තුළ පසුගිය කාලයේ දක්නට ලැබිණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නව කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීමේ ගැටලුව තවමත් අවසන්ව නැත. එංගලන්ත ක්‍රිකට් සංචාරයට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර, තීරණාත්මක සාකච්ඡාවකින් පසු ක්‍රීඩකයන් පියවරක් පසුපසට ගෙන එංගලන්ත සංචාරයේ ගිවිසුමට අත්සන් කිරීමට එකඟ වීමෙන් කොන්ත්‍රාත් ආරවුල තාවකාලිකව විසඳී ගියේය.

“ක්‍රිකට් ආයතනය දෙන ගිවිසුම අත්සන් කරන්න එපා. ක්‍රිකට් ආයතනය දෙන ඇඳුම අඳින්න එපා” මේ ආදි උපදෙස් ක්‍රීඩකයන්ට දුන්නේ කවුද යන්න විමසා බැලිය යුතු වේ. කණ්ඩායමට අලුතින් ඒකතු වූ යොවුන් ක්‍රීඩකයන්ට මෙය නුහුරු අත්දැකීමක් නිසා ඔවුන් පැත්තකට වී සිටියද පළපුරුදු ක්‍රීඩකයෝ කිහිප දෙනකු තම පෞද්ගලික කළමනාකරුවන්ගේ පදයට නටමින් ගිවිසුම අත්සන් කිරීමට නොහැකි බව පවසා කල් මැරූහ.

පෞද්ගලික කළමනාකරුගේ සේවය ලබාගන්නා ක්‍රීඩකයන් බොහෝ දෙනකු සහභාගි වන සෑම තරගයකදීම ලැබෙන මුදලින් සියයට 10ක කොටසක් තම කළමනාකරුවන්ට ගෙවන හෙයින් ක්‍රීඩකයන් රට ගැන නොව පළමුව මුදල පිළිබඳ කල්පනා කරන පිරිසක් බවට පත්ව ඇතැයි නැගෙන ප්‍රබල චෝදනාවකි.

මේ පිළිබඳ තොරතුරු එළියට ආවේ අද ඊයේ නොවේ. මෙයට වසර ගණනාවකට පෙර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පෞද්ගලික කළමනාකරුවන් පිළිබඳ වාර්තාවක් තමන්ට දෙන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රිකට් ආයතනයට ලිපියකින් දන්වා යැවීමත් සමඟ විශාල අවධානයක් යොමු විය. පෞද්ගලික විදෙස් ජාතික කළමනාකරුවකු සිය සේවය සපයන ක්‍රීඩකයන් හරහා ජාතික කණ්ඩායම තේරීමේ දී බලපෑම් එල්ල කරන බවට පළ වූ වාර්තා හේතුවෙන් හිටපු ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා එම තීරණයට එළැඹියේය.

මේ පිළිබඳව සමාජජාල වෙබ් අඩවි ඔස්සේ ද දැඩි කතාබහක් මතු වූ අතර, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් රැසකගේ පෞද්ගලික කළමනාකරුවකු ලෙස කටයුතු අයකු සිම්බාබ්වේ සමඟ එක්දින තරගයේ වීරයා වූ ලක්ෂාන් සඳකැන් ඊළඟ තරගයෙන් ඉවත් කිරීමේ උත්සාහයක නිරත වූ බවට කරුණු අනාවරණය විණි. පසුව සඳකැන්ට එම තරගය සඳහා ක්‍රීඩා කිරීමට හැකියාව ලැබුණේ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියගේ ඍජු මැදිහත්වීමෙන් බවට විශාල ප්‍රචාරයක් ලැබිණි. දිගින් දිගටම ජාතික ක්‍රිකට් කණ්ඩායම තේරීමේදී මේ විදෙස් ජාතික කළමනාකරු මෙවැනි බලපෑම් සිදු කර ඇති බවට අනාවරණය විය. එම සිදු වීම වූ තරගාවලියට නම් කර සිටි ජාතික ක්‍රිකට් සංචිතයේ සිටින ක්‍රීඩකයන් 12කගේ කළමනාකරු වූයේ එම එකම විදෙස් ජාතික කළමනාකරු වූ හෙයින් තත්ත්වයේ බරපතළකම සිතාගත හැකිය. කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් හරහා පෞද්ගලික විදෙස් ජාතික කළමනාකරු සිදු කරන මේ ක්‍රියාව හේතුවෙන් සියලු ක්‍රීඩකයන්ගේ කළමනාකරුවන් පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබාගත්ත ද ඇමැතිවරයාට යමක් කිරීමට නොහැකි වූයේ ටික කලකින් ඇමැති පදවිය මාරු වීම හේතුවෙනි. ක්‍රීඩකයන්ගේ පෞද්ගලික කළමනාකරුවන් පිළිබඳ වාර්තාවක් ගෙන කරුණු විශ්ලේෂණය කොට නිසි විසඳුම් නොදුනහොත් හෙට දවසේ ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය කනගාටුදායක විය හැකිය.

ප්‍රින්ස් ගුණසේකර

නව අදහස දක්වන්න