මීටර් 10,000 ලෝක වාර්තාව නැවත අලුත් වෙයි | දිනමිණ

මීටර් 10,000 ලෝක වාර්තාව නැවත අලුත් වෙයි

නෙදර්ලන්තයේ පැවැති ඉතියෝපියානු ඔලිම්පික් තේරීම් තරගයකදී මීටර් 10,000 ඉසව්වේ ලෝක වාර්තාව අලුත් කිරීමට ඉතියෝපියානු ක්‍රීඩිකා ලෙටසෙන්බෙට් ගිඩි සමත් වූවාය.

ගිඩි විසින් බිඳ දැමූවේ දින කිහිපයකට පෙර නෙදර්ලන්ත ක්‍රීඩිකාවක වූ සිෆාන් හසන් පිහිටු වූ ලෝක වාර්තාව වීම විශේෂත්වයකි.

මේ ඉසව්ව මිනිත්තු 29:01.03කින් අවසන් කරමින් ගිඩි මේ වාර්තාව පිහිටුවූ අතර, ඇය හමුවේ බිඳ වැටුණේ පසුගියදා (6) එම ඉසව්වෙන් මිනිත්තු 29:08.82ක කාලයක් සටහන් කරමින් සිෆාන් විසින් පිහිටුවා තිබූ ලෝක වාර්තාවයි. ඇය එම වාර්තාව බිහි කළේ 2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී ඉතියෝපියාවේ අල්මාස් අයනා පිහිටුවූ ලෝක වාර්තාව අබිබවා යමිනි.

සිෆාන් ද ඉතියෝපියාවේ උපන් ක්‍රීඩිකාවක වන අතර, 2013 වසරේදී නෙදර්ලන්තයේ පුරවැසිභාවය හිමි කර ගෙන ඇත.

23 හැවිරිදි ඩිගි 2019 වසරේ දෝහාහිදී පැවැති ලෝක ශූරතාවලියේදී මේ ඉසව්වේ රිදී පදක්කම දිනාගත් ක්‍රීඩිකාව වන අතර, මේ වාර්තාව අලුත් කිරීමෙන් අනතුරුව ඇය පැවසුවේ මේ ඉසව්ව මිනිත්තු 29කට අඩු කාලයකින් නිමා කිරීම තම බලාපොරොත්තුව බවයි.

“මම ලෝක වාර්තා බිඳ දමන්න බලාපොරොත්තු වුණා. මම යළිත් මගේම ලෝක වාර්තාව බිඳ දමන්න වගේම මිනිත්තු 29ට අඩු කාලයකින් තරගය අවසන් කරන්න උත්සාහ කරනවා” ගිඩි කීවාය. ඇය මීටර් 5000 ඉසව්වේ ලෝක වාර්තාවට ද හිමිකම් කියන අතර, 1986 -1993 දක්වා කාලයෙන් අනතුරුව එලෙස ඉසව් ද්විත්වයේම වාර්තා සතු කර ගනිමින් දස්කම පෑ පළමු ක්‍රීඩිකාව ලෙස ද ඉතිහාසයට එක් වූවාය.

නව අදහස දක්වන්න