සජිත්ට වසරක්වත් නායකත්වය රැක ගන්න බැරි වීම ඛේදවාචකයක් | දිනමිණ

සජිත්ට වසරක්වත් නායකත්වය රැක ගන්න බැරි වීම ඛේදවාචකයක්

එක්සත් ජාතික පක්ෂය සහ සිරිකොත අල්ලා ගන්නා බවට පුරසාරම් දෙඩූ අයට වසරක් ගත වීමට මත්තෙන් හදා ගත් පක්ෂයේ බලය වත් තහවුරු කර ගැනීමට නොහැකි වීම දේශපාලන ඛේදවාචකයක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම කිසිම රටක විපක්ෂ නායකවරයකු සිය තනතුර සඳහා විශ්වාසය පළ කර ගැනීමක් මීට පෙර කර නැතැයිද වජිර අබේවර්ධන මහතා කීය.

විපක්ෂ නායක ධුරයේ සිටින්නකු කළ යුත්තේ ඒ තනතුරට විශ්වාසය පළ කර ගැනීමක් නොව අගමැති හෝ ජනපති තනතුරුවලට පත් වීම සඳහා ජනතා විශ්වාසය දිනා ගැනීම බවද අබේවර්ධන මහතා සඳහන් කළේය.

නායකත්ව අර්බුදයක සිර වී සිටින සමඟි ජන බලවේගය පාඨලී චම්පික රණවක වැනි නායකයන් බලවේගය තුළින්ම බිහි වීමට මාර්ගය සැලසී ඇතැයිද අබේවර්ධන මහතා කීය.

වජිර අබේවර්ධන මහතා මේ අදහස් පළ කළේ සූම් තාක්ෂණය ඔස්සේ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ ඊයේ (10) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීය. එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් මේ සාකච්ඡාව පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂය කිසිදු පක්ෂයක අර්බුදවලට මැදිහත් නොවන බව කී අබේවර්ධන මහතා එජාපය පෙනී සිටින්නේ ජනතා අර්බුද වෙනුවෙන් පමණක් බවද සඳහන් කර සිටියේය.

වජිර අබේවර්ධන ශිරෝමි අබයසිංහ

නව අදහස දක්වන්න