ලෝක තත්ත්වය සලකා තුන්වැනි මාත්‍රාවක් අවශ්‍ය නම් දැන්ම ඇණවුම් කරන්න | දිනමිණ

ලෝක තත්ත්වය සලකා තුන්වැනි මාත්‍රාවක් අවශ්‍ය නම් දැන්ම ඇණවුම් කරන්න

ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස්

ලෝක තත්ත්වය සලකා සෞඛ්‍ය නිර්දේශ අනුව එන්නත්කරණයට තුන්වැනි මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට ඊයේ (10) උපදෙස් දුන්නේය.

ලොව ප්‍රධාන පෙළේ රටවල් ගණනාවක් තුන්වැනි මාත්‍රාව සඳහා එන්නත් මේ වන විටත් ඇණවුම් කර ඇති බැවින් ශ්‍රී ලංකාව ද ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කර තෙවැනි මාත්‍රාව දීම සඳහා සූදානම් විය යුතු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කළේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව ජනාධිපති කාර්යාලයේදී ඊයේ (10) රැස්වූ අවස්ථාවේදීය.

ලොව පුරා සියලු රටවලින් එන්නත් සඳහා පවතින විශාල තරගකාරිත්වය මැද වැඩි එන්නත් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා රටවල් රැසක නායකයන් සමඟ සාකච්ඡා කර සහාය ඉල්ලා සිටි බව පැවසූ ජනාධිපතිවරයා ඒ අනුව ඉතා අසීරුවෙන් ලබාගත් එන්නත් විනිවිද භාවයකින් හා විධිමත්ව ලබා දීමේ වැදගත්කමත් පෙන්වා දුන්නේය.

මේ වන විට එන්නත් විශාල ප්‍රමාණයක් ලැබී ඇති හෙයින් වයස අවුරුදු 60ට වැඩි සියලු දෙනාට සහ හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ටත් ඊට සමගාමීව බෝ නොවන රෝගවලින් පෙලෙන සියලුදෙනාටත් කඩිනමින් එන්නත දිය යුතු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

වැඩි පිරිසකට එන්නත් ලබාදීමෙන් කොවිඩ් වසංගතය පැතිර යාම සහ ආසාදිතයන් අසාධ්‍ය තත්ත්වයට පත්වීම වළක්වා ගත හැකි බවත් ජනාධිපති රාජපක්ෂ මහතා පැවසීය.

විධිමත් එන්නත්කරණයට සහ එන්නත් ලබා ගන්නා සියලු දෙනා පිළිබඳ දත්ත එක්රැස් කිරීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විශේෂ මෘදුකාංගයක් නිර්මාණය කර තිබේ. එමඟින් ග්‍රාමසේවා සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් එන්නත ලබා ගැනීමට දිනයක් සහ වේලාවක් පහසුවෙන් වෙන් කර ගැනීමට හැකි වේ.

මේ වන විට එන්නත් ලබා ගෙන ඇති සහ ඉදිරියට ලබා ගන්නා සියලු දෙනා පිළිබඳ තොරතුරු ඊට ඇතුළත් කිරීමටත් එන්නත්කරණය පිළිබඳ අන්තර්ජාතිකව පිළිගන්නා සහතිකයක් නිකුත් කිරීමටත් රජය අපේක්ෂා කරයි.

ධනුෂ්ක ගොඩකුඹුර

නව අදහස දක්වන්න