ගොඩනැඟිල්ලක් කඩාවැටී ඉන්දියාවේ 11ක් මරුට | දිනමිණ

ගොඩනැඟිල්ලක් කඩාවැටී ඉන්දියාවේ 11ක් මරුට

ඉන්දියාවේ බටහිර පිහිටි නගරයක් වන මුම්බායි හි නේවාසික ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ළමයින් 8 දෙනෙකු ඇතුළු 11 දෙනකු මියගොස් තිබේ. මලාඩ් ප්‍රදේශයේ සුන්බුන් අතර සිර වී සිටිනු ඇතැයි බියෙන් වැඩි පිරිසක් බේරා ගැනීමේ කටයුතු සිදු කරමින් සිටින බව බලධාරීහු පවසති. පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර ඇති නමුත් අමාත්‍යවරයකු පැවසුවේ බදාදා රාත්‍රියේ ඇද හැලුණු අධික වර්ෂාව නිසා මේ ගොඩනැඟිල්ල කඩා වැටෙන්නට ඇති බවය. ඉන්දියාවේ, විශේෂයෙන්ම මෝසම් කාලයේදී ගොඩනැගිලි කඩා වැටීම සුලබ කරුණක් වී ඇති අතර, ඉදිරි දින කිහිපය තුළ තද වැසි ඇද හැලෙන බැවින් ප්‍රදේශයේ අබලන් වූ ගොඩනැගිලි ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව නිලධාරීහු පැවසූහ. වර්ෂාව නිසා ප්‍රදේශ කිහිපයකම ගංවතුර ඇති වන බැවින් නගරය දැඩි අවධානයෙන් සිටී.

පොලීසිය පැවසුවේ 18 දෙනෙකු සුන්බුන් අත­ුරින් ඉවතට ගෙන ඇති නමුත් ඉන් හත් දෙනෙකු පමණක් දිවි ගලවා ගත් බවයි. “පොලීසිය නිසි පරීක්ෂණයක් පවත්වා ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇත” යනුවෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරි දිලිප් සාවන්ත් ප්‍රාදේශීය මාධ්‍ය වෙත පැවසීය. ඇසින් දුටු සාක්ෂිකරුවන් පැවසුවේ දෙමහල් ගොඩනැගිල්ල ඒ අසල ඇති කුඩා ඉදිකිරීමක් මතට කඩා වැටුණු බවකි. මෙම සිදුවීම රාත්‍රී 10: 15 ට පමණ සිදුවිය. ගොඩනැගිල්ලෙන් පිටව යන ලෙස පිටස්තර පුද්ගලයන් අපෙන් ඉල්ලා සිටීමෙන් පසු ඉන් පිටතට පැමිණි බවත්, ඒ මොහොතේදී තවත් ගොඩනැගිලි තුනක් අපගේ ගොඩනැගිල්ල අසල බිඳ වැටී තිබෙනු දුටු බවත් සිද්ධිය ඇසින් දුටුවකු මාධ්‍ය වෙත පවසා ඇත.

 

නව අදහස දක්වන්න