ඉන්දියාවේදී ගෝවින්දන් වූ ශ්‍රී ලංකාවේ කොල්වින් | දිනමිණ

ඉන්දියාවේදී ගෝවින්දන් වූ ශ්‍රී ලංකාවේ කොල්වින්

1972 වර්ෂය මෙරට දේශපාලන ඉතිහාසයේ වැදගත්ම සංධිස්ථානයකි. 1947 සිට පැවති ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයට ගැති සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කර ශ්‍රී ලංකාව පූර්ණ නිදහස් ස්වෛරී ජනරජයක් බවට පත් වූයේ 1972 මැයි 22 වැනිදාය. මේ ඉතිහාසගත කාර්යය සිදු වූයේ එවකට ව්‍යවස්ථා සම්පාදන අමාත්‍ය ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතාගේ පුරෝගාමිත්වයෙනි. ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රථම සභාපතිවරයා වූ හෙතෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණ හා විශ්ව නීතිය පිළිබඳ අන්තර්ජාතික කීර්තියට පත් විශාරදයෙකි. කෘතහස්ත දේශපාලනඥයෙකි.

 

මෙරට ජනතාව මැලේරියා වසංගතයට ගොදුරු වී තිබිණි. ඔවුහු සූරියමල් ව්‍යාපාරය සමඟ එකතු වී රෝගී ජනතාව බේරා ගැනීමට එක් වූයේය. තමන් විසින් සාදා ගත් ලුණු කැඳත් දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ මහතා නියම කළ බෙහෙත් වර්ගත් රැගෙන එදා ගෙ‍න්ගෙට යමින් ඒවා අසාධ්‍ය රෝගීන්ට පෙවීමට කොල්වින් ද ඇන්.ඇම්. ලා සමඟ එක් වූයේය.

 

 

1920-30 ගණන්වලදී මෙරට යළිත් ගොඩ නැඟීගෙන ආ අධිරාජ්‍යවාදී බලපෑම්වලට විරුද්ධව මහජන මතයක් ගොඩනැඟුවේය. ඒ සඳහා මූලික වූයේ පිලිප් ගුණවර්ධන, ඇන්.ඇම්. පෙරේරා, ලෙස්ලි ගුණවර්ධන, බී.ජේ. ප්‍රනාන්දු, වර්නන් ගුණසේකර, රොබට් ගුණවර්ධන සහ කොල්වින් ආර් ද සිල්වා යන 7 දෙනාය.

1932 දී එක්රැස් වූ මෙම කණ්ඩායමේ මූලිකත්වයෙන් ඇරඹුණු සූරිය මල් ව්‍යාපාරය පුළුල් ජනතා සංවිධානයක් ලෙස ව්‍යාප්ත වී ගියේය. මේ 7 දෙනා නිතර හමුවීමේ ප්‍රතිඵලයක් ලෙස 1935 දෙසැම්බර් 18 වැනිදා පක්ෂයක් ගොඩ නැඟුණේය. ඒ ලංකා සමසමාජ පක්ෂයයි.

පක්ෂයේ පරමාර්ථයන්ට එකඟ වී ශත 25ක් ගෙවා පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත හැකි විය. එදා පැවති මුල්ම රැස්වීමේදී සභාපති ධුරයට පත් වූයේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතාය. පක්ෂය ගොඩනඟා වසරක් ගතවීමට පෙර 1936දී මහ මැතිවරණයක් පැවැත්විණි.

ඉන් අනතුරුව සමසමාජ පක්ෂය ගෙන ආ කම්කරු අයිතිවාසිකම් දිනා ගැනීමේ සටන ද ඉංග්‍රීසි ආණ්ඩුවට හිසරදයක් වී තිබිණි. ඉංග්‍රීසින්ට අයත් වතුවල 'ලංකා වතු කම්කරු සමිතිය' යටතේ වැඩ වර්ජන ව්‍යාපාරය මෙහෙයවීම නිසා ලංකා සමසමාජ පක්ෂය 1940දී තහනමට ලක් කෙරිණි. කොල්වින් අත්අඩංගුවට ගැනිණි. අනතුරුව පිලිප්, ඇන්.ඇම්. සහ එඩ්මන්ඩ් සමරක්කොඩි ද අත්අඩංගුවට ගැනිණි. ඔවුන් රිමාන්ඩ් කරන ලද්දේ මහනුවර බෝගම්බර බන්ධනාගාරයේය. ඒ වන විට කොල්වින්ගේ වයස අවුරුදු 33කි.

ඔහු උපන්නේ 1907 පෙබරවාරි 16 වැනිදා බලපිටියේදීය. ඔහුගේ පියා දොස්තර ඒ. ද සිල්වාය. බලපිටිය ක්‍රිස්තියානි මිෂනාරි පාසලට ගිය ඔහු පසුව පානදුර ශා. ජෝන් විදුහලට ඇතුළත් කෙරිණි. අනතුරුව කොළඹ රාජකීය විදුහලින් උගත් කොල්වින් ශිෂ්‍යයා ශිෂ්‍යත්වයක් දිනා 1924දී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් විය.

ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් පසු ‍හෙතෙම ලන්ඩනයේ කිංස් කොලීජියට ඇතුළු වී 1932 දී පී.එච්.ඩී. උපාධිය ලැබ අනතුරුව නීති උපාධිය ද සමත් වූයේය. එහිදී ඔහුට ඩකා විශ්වවිද්‍යාලයේ නීති ශිෂ්‍ය‍යකුව සිටි කනගරත්නම්ගේ උදව් ඇතිව ඔරුවක නැඟී ඔවුහු ඉන්දියාවට පැන ගත්හ.

ඉන් මාස කිහිපයකට පසු ඉන්දියාවේදී බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂය පිහිටුවා කොල්වින් එහි නායකත්වය දරමින් සමසමාජ ව්‍යාපාරයටත් ඉන්දීය නිදහස් සටනටත් සහාය දැක්වීමට මහත් උනන්දුවෙන් කටයුතු කළේය. එහිදී පිලිප් සහ ඇන්.අම්. යළිත් පොලිස් අත්අංඩගුවට පත් වූවත් කොල්වින් උපක්‍රමශීලීව කල්කටාවට පැන ගත්තේය.

එහිදී ඔහු පුවත්පත් සඳහා ලිපි ලියුවේ එස්. ගෝවින්දන් යන නමිනි. 1943 නොවැම්බරයේදී කොල්වින් ඇතුළු පිරිස යළි මෙරටට ආවේ යුද්ධය නිමවී ඔවුනට නඟා තිබූ වරෙන්තු ද ඉවත් කර ගැනීමෙන් පසුවය.

එහෙත් ලංකා සමසමාජ පක්ෂය වශයෙනුත් ඉන්දියාවේදී බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂය වශයෙනුත් එකට සිටි ඔවුහු යළි මෙරටට එන විට දෙපිලකට බෙදී සිටියහ. පිලිප්, ඇන්.ඇම්. ප්‍රමුඛ පිරිසට විශ්වවිද්‍යාලයක පීඨාධිපති තනතුරක් හිමි වුවද ඔහු ඒවා ප්‍රතික්ෂේප කර යළි මවුබිමට ආවේය.

ඒ වන විට මෙරට ජනතාව මැලේරියා වසංගතයට ගොදුරු වී තිබිණි. ඔවුහු සූරියමල් ව්‍යාපාරය සමඟ එකතු වී රෝගී ජනතාව බේරා ගැනීමට එක් වූයේය. තමන් විසින් සාදා ගත් ලුණු කැඳත් දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ මහතා නියම කළ බෙහෙත් වර්ගත් රැගෙන එදා ගෙ‍න්ගෙට යමින් ඒවා අසාධ්‍ය රෝගීන්ට පෙවීමට කොල්වින් ද ඇන්.ඇම්. ලා සමඟ එක් වූයේය.

1935 දී ලංකා සමසමාජ පක්ෂය බිහි කිරීමෙන් පසු 1940 ජුනි 17 වැනිදා කොළඹ උසාවියේදී නඩුවකට පෙනී සිට යළි එද්දී ඔහු අත්අඩංගුවට පත් වූයේ දෙවැනි ලෝක මහා සංග්‍රාමය අධිරාජ්‍යවාදීන්ගේ යුද්ධයක් බව ප්‍රකාශ කළ නිසාය.

පිලිප්, ඇන්.ඇම්., එඩ්මන්ඩ් සමඟ කොල්වින් බන්ධනාගාරයෙන් මුදාගනු ලැබුවේ 1941 අප්‍රේල් 7 වැනිදා රාත්‍රියේ රොබට් ගුණවර්ධන ඇතුළු කිහිප දෙනෙක් තම දිවි නොතකා කළ රහස් වැඩපිළිවෙළකිනි.

ඉන් මාස තුනකට පමණ පසු වැල්වටිතුරේ ලෙස්ලි, චම්ලි, ඩොරික් ද සූසා, එඩ්මන්ඩ්, බර්නාඩ් සොයිසා ඇතුළු පිරිසක් බොල්ෂෙවික් පක්ෂයට එකතු වූහ.

1947 මහ මැතිවරණයට බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂයෙන් මුලින්ම වැල්ලවත්ත ගල්කිස්ස අසුනට ඡන්දය ඉල්ලූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා ඡන්ද 11606ක් ලබා ගනිමින් ජය ගත්තේය. එනමුත් ඔහු ඇතුළු සියලු දෙනා 1952 මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ යළිත් ලංකා සමසමාජ පක්ෂයෙනි. එවර කොල්වින් ආර්. ද සිල්වා මහතාට ජය ගැනීමට නොහැකි විය.

එනමුත් 1956 මහ මැතිවරණයෙන් ඔහු ජය ගත්තේ එජාපයේ එස්. ද එස්. ජයසිංහ මහතා පරදවමිනි. යළිත් ඔහු ඊළඟ 1960 මාර්තු මහ මැතිවරණයෙන් පරාජය වූවත් එම ජූලි මැතිවරණයෙන් ජය ගත්තේය. 1965 මහ ඡන්දයෙන් යළි පරාජය වූ අතර, ඔහු ඇතුළු වාමාංශික පක්ෂ මන්ත්‍රීවරුන් බොහෝදෙනෙකු පරාජයට පත් විය.

1956 හර්තාලයේදී විත්තිකරුවන් 450ක් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිට ඔවුන් නිදහස් කර ගත්තේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතාය. 1960 මැතිනියගේ ආණ්ඩුව පෙරළා දැමීමේ කුමන්ත්‍රණ නඩුවේදී හේන්පිටගෙදර ඤාණසීහ හිමියන් වෙනුවෙන් පෙනී සිට උන්වහන්සේ නිදහස් කර ගත්තේද ඔහුය. මෙරට ප්‍රකට නඩු කීපයකම විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේය. සුප්‍රකට හාරලක්ෂෙ මංකොල්ලය, වයිට් හවුස් මිනීමැරුම් නඩුව, ගාල්ලේ කුලරත්න නඩුව, සතාසිවම් මිනීමැරුම් නඩුව ඉන් කිහිපයකි. මෙරට අන් කිසිදු දේශපාලනඥයකු සතු නොවූ අන් අය කතාවෙන් ඇද බැඳ ගන්නට සමත් කතා විලාසයක් ඔහු සතුව තිබිණි.

දේශපාලනයෙන් හරි හම්බ කර නොගත් අවංක, දූෂණ හා වංචාවලින් තොර දිවියක් ගෙවූ ඔහු එක් මැතිවරණයකින් පරාජය වීමට බලපෑවේ සතාසිවම් මිනීමැරුම් නඩුවේදී ඔහු ඉන් බේරා ගැනීමට විත්ති පාර්ශ්වය වෙනුවෙන් නඩුවට කතා කිරීම බව පැවසිණි.

ඩඩ්ලි සේනානායක ආණ්ඩුව සමයේ ජීවන වියදම් අංකය ඉහළ ගිය අතර, විරැකියාව ද වර්ධනය විය. මෙනිසා විපක්ෂයේ සිටි සිරිමා බණ්ඩාරනායක මැතිනිය සමඟ සමසමාජ පක්ෂයේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් එක් වූහ.

ඒ හේතුවෙන් ශ්‍රීලනිප සහ ලසසපයත් කොමියුනිස්ට් පක්ෂයක් එකතු වී රජයක් පිහිටුවීම සඳහා 1968 ජුනි 5 වැනිදා පොදු සම්මුතියකට අත්සන් තැබූහ. අනතුරුව 1970 පැවති මහ මැතිවරණයට අගලවත්ත අසුනට ඉදිරිපත්වූ සිල්වා මහතා ඉන් ජය ගත්තේය.

සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් ජයගත් සමගි පෙරමුණ ආණ්ඩුවේ වැවිලි කර්මාන්ත හා ව්‍යවස්ථා සම්පාදක ඇමැති ධුරය හිමි වූයේ සිල්වා මහතාටය.

1970 ජූලි 19දා මැතිනියගේ ආරාධනයෙන් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කොට සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයක් ලෙස රැස්වූහ.

ඇමැති ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා ප්‍රමුඛ ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලය කාරක සභාවලින් ලැබී ඇති යෝජනා හා කෙටුම්පත් විශ්ලේෂණය කෙරිණි. ඒ අනුව සකස් කළ 'ජනරජ ව්‍යවස්ථාව' 1972 මැයි 22 වැනිදා සම්මත කොට ක්‍රියාත්මක කරනු ලැබීය. ජනරජ ව්‍යවස්ථාව සම්මතවීමත් සමඟම එතෙක් 'ලංකාව' යනුවෙන් භාවිත කළ නාමය 'ශ්‍රී ලංකාව' බවට පත් විය.

1975දී සමගි පෙරමුණ ආණ්ඩුව කඩා වැටීම ඇරඹිණි. ඒ ශ්‍රීලනිපය හා ලසසපය ඇතිවූ මත ගැටුමක් හේතුවෙනි. ඒ හේතුවෙන් ආචාර්ය කොල්වින්, ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා සහ ලෙස්ලි ගුණවර්ධන යන ඇමැතිවරුන් ඉවත් කෙරිණි.

1977 මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකාවක් වීම ගැන කම්පාවෙමින් එදා අගලවත්ත ප්‍රාදේශීය ආදායම් නිලධාරී වූ ආචාර්ය සූරිය ගුණසේකර මහතාට මෙසේ පවසා තිබිණි.

'මේ රට ඉදිරියේදී ශ්‍රී ලංකාව බවට පත් වෙනවා. ලංකාව සිලෝන් කළේ ඉංග්‍රීසින් 1815දී ඉංග්‍රීසීන්ට උඩරට ගිවිසුමෙන් බාර දුන්නෙ ලංකාව නෙවෙයි. ගිවිසුමේ තියෙන්නේ 'සිංහලේ' කියලයි.

ඉඩමක් බදු දුන්නත් ඒක ආපහු බාර දෙන කොට වෙනස්කම් නොකර ඒ තත්ත්වයෙන්ම බාර දිය යුතුයි. සිංහල රජ සිරිත් චාරිත්‍ර ඒ විදිහටම කරන්නයි ඉංග්‍රීසීන් ගිවිසුමෙන් පොරොන්දු වුණේ.

ඒත් ඒක එහෙම වුණේ නෑ. සිංහලේ සිලෝන් කරලා ආපහු දුන්නා. මේ රට ආයෙත් නම් කරන්නට වුණේ මේ නිසයි. රටක් කියන්නෙ විශාල ඉඩමක්. ඒකෙ කාලයක් තිස්සේ ජීවත් වෙච්ච ජාතියකුත් ඉන්නවා. ඒ නිසයි රටත් ජාතියත් හැමවිටම සම්බන්ධ වෙන්නෙ.

උදාහරණ හැටියට චීන ජාතිකයන්ගේ රට චීනය. ජපන් ජාතිකයන්ගෙ රට ජපානය. ස්පාඤ්ඤකරුවන්ගේ රට ස්පාඤ්ඤය. ඇංග්ලෝවරුන්ගෙ රට ඇංග්ලෝලෑන්ඩ් එහෙමත් නැත්නම් ඉංග්ලන්ඩ්. තායිවරුන්ගේ රට තායිලන්ඩ්.

ශිෂ්ටාචාරයක් නොතිබුණු හා ජාතීන් නොසිටි රටවල්වල නම් හැදුණෙ මෙහෙමයි. ඩේවිඩ් ලිවිංග්ස්ටන්, සිසිල් රොඩ්ස්, චැඩ්ලා වගේ අය අප්‍රිකාවට යන කොට මිනිස්සුයි වඳුරොයි අතරෙ වෙනසක් තිබිලා නෑ. මිෂනාරීන් තමයි ඒ අයගෙ වල්ගෙ කපලා කලිසම් ඇන්දුවේ. මොනවද මේ රටවලට දැම්ම නම්?

සිසිල් රොඩ්ගෙ පතල් තිබුණු රට රොඩේෂියාව වුණා. මස් හා තිරිඟු නිපද වූ චාව්ගේ රට චැඩ් වුණා. සුද්දො රත්තරන් පටවපු රට ගෝල්ඩ්කෝස්ට් වුණා.

ඔවුන් ඇත් දත් පටවපු රට අයිවරි කෝස්ට් වුණා. නයිජර්ගෙ රට නයිජර් වුණා. අන්තිමට වුණේ රටේ නමින් ජාතිය නම් වීමයි. චැඩ් රටේ ජාතිය චැඩියන්. රොඩේෂියාවෙ ජාතිය රොඩේෂියන්. නයිජීරියාවේ ජාතිය නයිජීරියන්.

අප්‍රිකාවෙ වගේම තමයි ලතින් අමෙරිකාවෙත් 19 වැනි සියවසේ තමයි රටවල් ඇතිවුණේ. යුරෝපයෙන් ගිය සුද්දො තමයි මේ රටවල් බෙදීම කළේ. ඒබ්‍රහම් ලින්කන් 19 සියවසේදීම මේක දැක්කා. ඒ නිසා තමයි ඔහු කීවෙ 'වහලා කල්යෑමේදී සිය වහල් බැමිවලට ඇලුම් කරයි' කියලා. අපි වහල් බැමි තුළ හිටියා වැඩියි. ඒකයි දැන් ඒවාට ඇලුම් කරන්නේ. පැරණි ජාතීන්ගේ ගොඩට වැටෙන්න ඕන ලංකාව දඟලන්නේ අලුත් ජාතීන්ගේ ගොඩට වැටෙන්නයි.

ලංකාවට ශ්‍රී ලංකාව කියලා නම දාලා ජාතිය ශ්‍රීලන්කන් කර ගත්තෙ අපිමයි. ඉංග්‍රීසිකාරයො වනචාරීන් විදිහට ගල්ගුහාවල ‍ඉන්න කොට අපි මහමුහුද වගෙ විශාල වැව් දාගැබ් හදාගෙන වැජඹෙච්ච ජාතියක්..."

බන්ධුල ගුණරත්න

නව අදහස දක්වන්න