ලාංකේය දේශපාලන සිතියම වෙනස් කළ නුගේගොඩ දේශප්‍රේමී රැළිය | දිනමිණ

ලාංකේය දේශපාලන සිතියම වෙනස් කළ නුගේගොඩ දේශප්‍රේමී රැළිය

1987 වසර ශ්‍රී ලාංකේය දේශපාලනයේ අතිශය තීරණාත්මක වසරක් විය. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීම, බලය බෙදීමේ ව්‍යුහයක් ලෙස ඒ මඟින් පළාත් සභා පිළිගැනීම හා ඉන්දියානු සාම හමුදා මෙරටට පැමිණීම වැනි බරපතළ සිදුවීම් රැසක් සඳහා පසුබිම පෙළ ගැසෙමින් තිබුණි. මෙම තත්ත්වය ජනතා විමුක්ති පෙරමුණේ දැඩි විවේචනයට භාජනය විය. මෙම සිදුවීම් හමුවේ ඉන්දියාවේ අනිසි බලපෑමක් ශ්‍රී ලංකාව කෙරෙහිද පවතින බව සෑම විටම ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙන ලදි. එබැවින් ඊට එරෙහිව ජනතාව පෙළ ගැස්වීමේ කටයුත්ත බාර ගන්නා ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ හා ඊට සම්බන්ධ අනෙකුත් සංවිධානයන්ය.

මෙසේ රට තුළ ඇවිලී ගිය ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව පිළිබඳ විරෝධය 1988 අග භාගය වන විට උත්සන්න වන්නට විය. ඒ අනුව එම විරෝධය ආණ්ඩු විරෝධි සටන ධනපති ක්‍රමයට, අධිරාජ්‍යවාදයට, ඉන්දියානු ව්‍යාප්තවාදයට හා බෙදුම්වාදයට එරෙහි සටනක් බවට පත් විය. මෙම තත්ත්වය තුළ ජනතාව සංවිධානය කිරීමේ භූමිකාව ජනතා විමුක්ති පෙරමුණ හා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මූලිකත්වය ගෙන සිදු කරන ලදි.

1988 වසරේ දෙසැම්බර් මස පැවති ජනාධිපතිවරණයෙන් රණසිංහ ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද අතර, 1989 පෙබරවාරි මස 15 වන දින මහමැතිවරණය පවත්වන ලදි. සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ පවත්වන ලද පළමු මහමැතිවරණය මෙය වූ අතර, මෙම මැතිවරණය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය වර්ජනය කිරීමට පියවර ගත්තේය. මෙම පසුබිම තුළ ආරක්‍ෂක අංශවල මර්දනකාරිත්වයත්, දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් හේතු කොටගෙන මැතිවරණ ගැටුම්, ජන ඝාතන හා රාජ්‍ය මර්දනය ක්‍රියාත්මක විය. කෙසේ වුවද එම මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂය ජයගත්තේය. මේ වන විට බදුල්ල ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝවෙන් ඇ‍රැඹි සේවක වැඩ වර්ජනය හා බන්ධනාගාර නිලධාරින්ගේ වැඩ වර්ජනය හේතුවෙන් ආණ්ඩුව පීඩනයට පත්ව සිටි කාල පරිච්ඡේදයක් විය.

මේ අතර 1989 ජුනි මස 09 වන දින තවත් සිදුවීමක් විය. ඒ ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමී අරගලයේ සුවිශේෂි පියවරක් ලෙස නුගේගොඩ ආනන්ද සමරකෝන් සමරු එළිමහන් රංග පීඨයේ දේශප්‍රේමී රැලියක් පැවැත්වීමයි. එම දැවැන්ත ජනතා රැලිය 'ඉන්දිය ආක්‍රමණිකයාගෙන් මවුබිම බේරා ගනිමු' තේමාව යටතේ 'ජාතික නිදහස දිනා ගැනීම සඳහා දේශප්‍රේමී පොදු එක්සත් පෙරමුණක් ගොඩනඟමු' යන සටන් පාඨයෙන් යුක්ත විය. ආණ්ඩුවේ දැවැන්ත මර්දනය හමුවේ මෙවැනි රැලියක් පැවැත්වීම අභියෝගයක් විය. නමුත් කෙසේ හෝ මෙම රැලිය අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය, අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂු බල මණ්ඩලය, සමස්ත ලංකා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ හා මවුපියන්ගේ සංගමය, ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ හා එක්සත් ලංකා ජනතා පක්‍ෂය යන සංවිධාන හා තවත් පුද්ගලයන්ගේ මැදිහත්වීමෙන් පවත්වන ලදි. රැලිය සංවිධානය කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. මෙම ජන රැලියේ මුලසුන හෙබවූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය පීඨයේ නිමල් කරුණාසිරි විසිනි. එමෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ එස්.එම්. නිෂ්මි ද ප්‍රධාන කථිකයෙකු විය. නිෂ්මි රැස්වීමේදී කතාව සිදු කරන අවස්ථාවේ හිස් වැසුමක් පැලඳ, ව්‍යාජ කොණ්ඩයකින් සහ රැවුලකින් වෙස්වළාගෙන සිටියේය. රැලියට සහභාගි වූ හතළිස් දහසකට අධික ජනතාවක් ආමන්ත්‍රණය කරමින් නිෂ්මි දීර්ඝ කතාවක් සිදු කළේය. එහි අවසානයේදී ඔහු මෙසේ කියා සිටියේය.

"අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විදිහට ඉදිරියට ගෙන යන නායකත්වය සපයන දේශප්‍රේමි ජාතික පෙරමුණක් ගොඩනැඟීමේ වැඩපිළිවෙළත්, මේ රටේ ජාතික නිදහස දිනා ගැනීමේ දේශප්‍රේමී විමුක්ති අරගලයත්, මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත‍්‍රවාදය මූලික මිනිස් අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගලයත් ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ ප්‍රථමයෙන්ම ජාතික නිදහස දිනා ගැනීම තුළින් පමණයි. එම නිසා සහෝදරයා සහෝදරිය අපි තෝරලා තියෙනවා වගේ 'පළමුව මවුබිම දෙවනුව උපාධිය - පළමුව මවුබිම දෙවනුව වැඩබිම' කියන සටන් පාඨයන් එක්ක ජාතික නිදහස දිනා ගැනීමේ අරගලය මෙයට වඩා තවත් ඉදිරියට ගෙනියලා අධිරාජ්‍යවාදීන්ට අධිරාජ්‍යවාදී ගැත්තන්ට භීතිය ඇති කරලා ඔවුන් පන්නලා ඉන්දියන් හමුදාව පන්නන බෝට්ටුවේම ඔවුන්වත් පටවලා යවන්න සංවිධාන වෙන්නයි කියලා. ඒ සඳහා ඉදිරිපත් වෙන්නයි කියලා."

 

එස්.ඩී. බණ්ඩාරනායක                     උපතිස්ස ගමනායක                       රුක්මන් සේනානායක

මේ වන විට ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර හා උපතිස්ස ගමනායක යන අය යටිබිම්ගත දේශපාලනයෙහි නිරත වූ බැවින් පවතින රාජ්‍ය මර්දනයට පිළිතුරු දෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් උපතිස්ස ගමනායක විසින් පාලක පංතිය වෙත පණිවුඩයක් ද එවා තිබුණු අතර, කථිකයකු විසින් රැලියේදී කියවන ලදි. එහි දක්වා තිබුණේ "ජනතා විමුක්ති පෙරමුණේ තමන් ජාතියේ ස්වාධීනත්වයත් ජනතාවගේ නිදහසත් ජාතියට යුක්තියත් ඉල්ලා සටන් වැදුණා මිස නීති විරෝධී ආණ්ඩුවක මන්ත්‍රීකමක් හෝ ඇමතිකමක් පතා සටන් නොකළ බවත්, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන අරමුණ හා ඉල්ලීම වනූයේ ආරක්‍ෂක හමුදාව 1983ට පෙර සිටි පත් කිරීම නොව දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට ගොඩනඟා ඇති නිල නොලත් අතුරු හමුදා විසුරුවා හැරීම හා දේශපාලන පන්දම් උඩ මිනිමරුවන්ට දී ඇති අයුතු උසස්වීම් අහෝසි කිරීම" බවත් පෙන්වා දෙන ලදි. ලිපිය අවසානයේ 'අධිෂ්ඨාන සහගත ලෙස අප ගෙන යමින් සිටින අරගලයේදී ජනතා විමුක්ති පෙරමුණ සමඟ අත්වැල් බැඳගන්නා ලෙස ඉල්ලා සිටින ලෙසත්' වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

රැලියෙන් පසුව රට පුරා ඉන්දියානු භාණ්ඩ වර්ජනයක් ආරම්භ කරන ලදි. ඉන්දියානු භාණ්ඩ ගෙන්වීම විකිණීම හෝ ළඟ තබා ගැනීම තහනම් කරන ලදි. ඒ අනුව ඉන්දියාවේ සිට ආනයනය කරන ලද බොම්බායි ලූනු, මයිසූර් පරිප්පු වැනි පාරිභෝගික භාණ්ඩ වෙළෙඳපොළේ අලෙවි කිරීම ජනතා විමුක්ති පෙරමුණ විසින් තහනම් කරන ලදි. එසේම ශ්‍රී ලංකාවේ සිටින සියලුම ඉන්දීය ව්‍යාපාරිකයින්ට රටින් පිටවන ලෙසත් නියෝග කරන ලදි.

මෙම තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වූ ආරක්‍ෂක අමාත්‍ය රන්ජන් විජේරත්න මහතා ප්‍රකාශ කර සිටියේ රටේ පාලන කටයුතු අඩපණ කරමින් ආයුධ බලයෙන් රජය අල්ලා ගැනීමට ඇතැම් පිරිස් ක්‍රියා කිරීම නිසා ඒවා මර්දනය කිරීම පිණිස දැඩි ක්‍රියා මාර්ග ගැනීමට රජය තීරණය කර ඇති බවයි. ඒ සමඟම 1989 අංක 01 දරන හදිසි අවස්ථා නියෝගවල දෙවැනි නියෝගය ප්‍රකාරව කරුණු හතරක් සම්බන්ධයෙන් ප්‍රවෘත්ති පාලනයක් පනවනු ලැබීය. එනම් ශිෂ්‍ය ප්‍රශ්න, ඉන්දීය හමුදාව, ජනතා විමුක්ති පෙරමුණ හා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයයි. ඒ අනුව මෙකී මාතෘකා සම්බන්ධයෙන් ලිපියක් ඡායාරූපයක් පළ කිරීම පුවත්පත් පාලනයට යටත් වන අතර, ඒවා පළ කිරීමට අදාළ නිසි බලධාරියාගේ අවසරය ගත යුතු විය.

මේ අනුව තරුණයන් අරගලකාරී මාවතට ඇද දැමීමට බලපෑ ආසන්නතම හේතුව ලෙස ඉන්දු ලංකා ගිවිසුමෙන් පසුව එළඹි රාජ්‍ය මර්දන ක්‍රියා කලාපය බව සඳහන් කිරීම නිවැරදි වේ. විශේෂයෙන් නුගේගොඩ රැස්වීමෙන් පසුව දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ආණ්ඩුවට එරෙහි අරගලය ඉහළ ගිය අතර, ඒ හේතුවෙන් ආණ්ඩුව ද තරුණ තරුණියන් අත්අඩංගුවට ගෙන ඝාතනය කර මර්දනය තීව්‍ර කළේය. ඒ අනුව 1989 අගභාගය වන විට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ බහුතර සාමාජිකයන් ඝාතනයට ලක් වූහ.

 

 එම්. තාරික්

නව අදහස දක්වන්න