වසංගතය පරදා යළි පිබිදෙන සංවර්ධනය | දිනමිණ

වසංගතය පරදා යළි පිබිදෙන සංවර්ධනය

ගුවන් පාලම් ඉතිහාසයේ නව වාර්තාවකට හිමිකම් කියමින් මෙරට ඉදි කෙරුණු ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගුවන් පාලම 2008 වසරේ ජනගත කෙරිණි. ඒ දින 61ක් වැනි අඩු කාලයකින් පාලමේ ඉදිකිරීම් අවසන් කරමිනි. එවකට පැවැති රජයේ සංවර්ධන ව්‍යාපෘතිවල හැරවුම් ලක්ෂ්‍යය සටහන් කරමින් මහින්ද චින්තන ප්‍රතිපත්තියට අනුව කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පැවැති අධික මාර්ග තදබදයට විකල්ප විසඳුමක් ලෙස ගුවන් පාලම් රැසක් ජනතා අයිතියට පත් කෙරිණි. එය එදා ජනතාව ලැබූ සුවිශේෂ ජයග්‍රහණයකි.

එකී ගුවන්පාලම් මෙරට ජාතික ආර්ථිකයට කෙතරම් බලපෑමක් ඇති කර ඇද්ද යන්න විමසිය යුතුය. කොළඹ නගරයට ඇතුළු වන ප්‍රධාන නගරවල පැවැති මාර්ග තදබදය පමණක් නොව ගත වන කාලය ද අවම කර ගන්නට ගුවන් පාලම් ඉවහල් වූ බවට සැකයක් නැත. කැලණිය ගුවන් පාලම ඉදි නොකෙරුණේ නම් කොළඹ නුවර මාර්ගය හරහා වැටී ඇති දුම්රිය මාර්ගය ඔස්සේ ධාවනය වන සියලු දුම්රියන් ධාවනය වන විට මහා මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වන්නේය. එහෙත් අද දුම්රිය නිසා මහා මාර්ගයේ ධාවනය වන එකදු වාහනයකට හෝ බාධා එල්ල නොවීම කොතරම් යහපත්දැයි නැවත හැරී බැලිය යුතුය.

මහින්ද චින්තන සංකල්පය

ඔරුගොඩවත්ත, නුගේගොඩ, දෙහිවල ගුවන් පාලම් ද මෙරට සංවර්ධන ඉතිහාසයේ දක්නට ලැබෙන සුවිශේෂී ස්ථානයන්ය. එවකට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මහින්ද චින්තන සංකල්පයට අනුව බොහෝ දුෂ්කර මාර්ග සංවර්ධනය වූ බව අවිවාදිතය. පැවැති සිවිල් යුද්ධය මේ රට සංවර්ධනය කෙරුමට බාධාවක්ව පැවතිය ද එවකට පැවැති රජය යුද සමයේම රට සංවර්ධනයට පියවර ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයත් කොළඹ සිට කටුනායක අධිවේගී මාර්ගයත් දායාද කරන්නට එකී රජයට හැකි විය. රටක ජනතාව නඟාසිටුවීම යනු රටේ සංවර්ධනයය. ජනතාවට නැඟී සිටීමට නොහැකි සියලු බාධාවන් ඉවත් කිරීම පවතින රජයන්හි වගකීමක් ද වන්නේ ය. එය මැනවින් එදා ඉටු වූ බව පැහැදිලිය.

ග්‍රාමීය ජනතාව අපහසුතාවට ලක් වූ මහා මාර්ගවල ඌනතාවයට විසඳුම් ලෙස ඉකුත් රජයන් යම් සාධනීය පියවරයන් ගෙන තිබිණි. එහි එක් පියවරක් වන්නේ ග්‍රාමීය මාර්ග කාපට් කිරීමත්, අති දුෂ්කර මාර්ග කොන්ක්‍රීට් අතුරා පිළිසකර කිරීමත්ය. රජයක ජාතික වගකීම ලෙස ජනතාවට අවැසි යටිතල පහසුකම් සංවර්ධනයට වත්මන් රජය අත තබා ඇති වග පෙනෙන්නට තිබේ. එය දිනෙන් දින රටේ සෞභාග්‍යය ළඟා කරවන ප්‍රමුඛ කාර්යයකි. සමාජ ආර්ථික ප්‍රතිපත්ති යහපත් වූ කල රටවැසියා ක්‍රමයෙන් සංවර්ධන මංපෙත්වලට අවතීර්ණ වන බව පැහැදිලිය. මාර්ග පද්ධතිය යහපත් වූ කල ජනතාවගේ ගමනාගමන අවශ්‍යතාව ඉතා කාර්යක්ෂමව ඉටු කර ගත හැකිය. එය රටේ ජනතාවට ලැබෙන විශේෂ වරප්‍රසාදයකි. තම අවශ්‍යතා සහ වුවමනාවන් කෙටි කලකින් මෙන්ම අඩු වියදමකින් ඉටුකරවා ගැනීමට හැකි වීම ද ජනතා ජයග්‍රහණයකි. ජනතාවාදී රජයකින් බලාපොරොත්තු වන්නේ ද ජනතා සුභසිද්ධිය උදෙසා වූ සංවර්ධනයන්ය.

අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කිරීම

ජනතා ජයග්‍රහණ අත්පත් කර ගැනීමට පවතින රජයට බලපෑම් කළ යුතු වන්නේ ජනතා අපේක්ෂාවන්වලට පයින් ගසා දමා පාලන තන්ත්‍රය තම අභිමතයට කරගෙන යන්නේ නම් පමණි. එහෙත් වත්මන් අගමැතිවරයා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සංවර්ධනය කඩිනම් කරන්නට පියවර ගෙන ඇත්තේ දරුණු ව්‍යසනයක් අභිමුඛය. "කාලය කියන දේ අපි හැමෝටම වටිනවා, මහජනතාවට වගේම අවසානයේ එය රටටත්, රටේ අනාගතයටත් එක සේ වටින බව ඔබ දන්නවා" යැයි පවසමින් වත්මන් අගමැතිවරයා නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුලුනු මත ඉදි වන අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කිරීමට පියවර ගත්තේය. ලෝකයම ඇත්තේ දරුණු ව්‍යසනයක බව පාසල් දරුවන්ට පවා මනාව වැටෙහනු ඇත. එවැනි අභියෝගාත්මක ව්‍යසනයක් මර්දනය කරමින් රට සංවර්ධනය කිරීමේ අරමුණ නූපන් පරපුරේ අනාගතය නිසා යැයි සඳහන් කිරීම ගැන අප කවුරුත් නැවත සිතා බැලිය යුතුය. වත්මන් රජය බිහි වන්නට පෙර පැවැතියේ යහපාලන රජයය. යහපාලන රජයේ ප්‍රතිපත්ති අන්ත දූෂිත වූ තැන ජනතාව විසින් එකී රජය පෙරලා දැමූයේ රටේ සංවර්ධනය ආපස්සට ගෙන ගිය නිසාවෙනි. ඉන් පැහැදිලි වන්නේ ජනතාව අපේක්ෂා කරන රටේ සංවර්ධනයත්, මානව සම්පතෙහි ආකල්පමය වර්ධනයත් වෙනුවෙන් ක්‍රියාත්මක වන රජයක ජාතික ප්‍රතිපත්ති හා විප්ලවීය සංවර්ධනයන් වෙනුවෙන් ජනතාව විසින් ජනතාවාදී රජයන් බිහි කර ගන්නා බවය. එය 2019 වසරේ ජනපතිවරණයෙන් පෙන්නුම් කළේය. එනිසා රටක සංවර්ධනයට ඇති බාධා ඉවත් කෙට ජනතා අපේක්ෂාවන් වෙත ළඟා වීමට පවතින රජයක මූලික වගකීම වන්නේය.

අභියෝග ජය ගැනීම

පසුගිය දශක කිහිපය දෙස නැවත හැරී බලන්නේ නම් සිදු වූ විප්ලවයන් රටක දියුණුවට අත්‍යවශ්‍ය සංවර්ධනයන් බව වටහා ගත හැකිය. නූතනයේ සිදු වී ඇති ව්‍යසනයට මුහුණ දෙන වත්මන් රජයට අභියෝග රැසක් ජය ගත යුතුව ඇත. එක් පැත්තකින් ග්‍රාමීය ජන ජීවිතය නඟාසිටුවීමට පියවර ගත යුතුය. අනෙක් පැත්තෙන් කෘෂිකාර්මික රටක් ලෙස එකී අභියෝග ජය ගැනීම කාලීන අවශ්‍යතාවකි. අනාගත පරපුරේ තාක්ෂණික අධ්‍යාපනික ක්‍රමෝපායන් යනු විප්ලවීය ලෙස ජය ගත යුතු අභියෝගයකි. මේ කවර අභියෝගයක් වුව ජය ගැනීමට පෙර මේ රට තුළ යහපත් මාර්ග සංස්කෘතියක් ඇති විය යුතුය. ගමනාගමනය පහසු කරවා ගැනීම සම්පත් බෙදී යෑමේ විෂමතාවට කඩිනම් විසඳුමකි. කළ යුතු සංවර්ධනයන් කවර ව්‍යසනයක් යටතේ වුව කඩිනම් කළ යුතු යැයි වත්මන් අගමැතිවරයා පවසන්නේ එනිසාය. අගමැතිවරයාගේ ප්‍රකාශය යහපත්ය. කොරෝනා වසංගතය ස්වාභාවික ව්‍යසනයකි. මේ සියල්ල ජය ගත හැකි ක්‍රමෝපායන් අනුගමනය කර, සංවර්ධන ක්‍රියාවලියට එළැඹීම වත්මන් රජය ගත් එක් ජයග්‍රාහී පියවරකි. දේශපාලන මතවාද පසෙක ලා රටේ සියලු වගකිව යුත්තන් මේ මොහොතේ රටේ සංවර්ධනයටත්, පවතින ව්‍යසනයෙන් රට මුදා ගැනීමටත් දායකත්වය සැපයිය යුතුය. බොහෝ විපක්ෂ මන්ත්‍රීවරුන් දේශපාලන අරමුණු අරබයා නින්දා, අපවාද, අපහාස, උපහාස කරමින් සිටිනවා හැරුණු විට ජනතාව බේරා ගැනීමට වෙහෙසෙන බවක් පෙනෙන්නට නැත. එය රටක දියුණුවට හෝ යහපත් සංස්කෘතියක් බිහි කිරීමට බාධාවක් වන්නේය. ඕනෑම මහජන නියෝජිතයකු යනු මේ රටේ මහජන බදු මුදලින් යැපෙන පුද්ගලයකු බව අවිවාදිතය. විපක්ෂයේ හෝ ආණ්ඩු පක්ෂයේ හෝ කවර මහජන නියෝජිතයා ද මේ රටේ ජනතාවට වගකියන පුරවැසියකු වන්නේය. එනිසා මේ මොහොතේ රටේ සංවර්ධනයටත්, ජනතා අපේක්ෂා වෙනුවෙනුත් පෙනී සිටීම ඔවුන්ගේ වගකීමක් බව පැහැදිලිය. ඇතැමුන් බොරදියේ මාළු බාමින් සිට රජයන් අපහසුතාවට පත් කරනවා විනා රජයක් නිවැරැදි මාර්ගයේ ගෙන යෑමට සහාය දීමක් දක්නට ලැබෙන්නේ නැත.

රටවැසියාගේ මනා හැසිරීම

වත්මන් රජය බලයට පැමිණියේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ජනගත කරමිනි. එකී ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව කටයුතු කරන්නට මූලික බාධාවක් වූයේ පවතින කොරෝනා ව්‍යසනයය. එහෙත් එවැනි ව්‍යසනයක් ජය ගැනීමට නම් පාලක පක්ෂවල ප්‍රතිපත්ති පමණක් නොවන රටවැසියාගේ මනා හැසිරීම ද ඉවහල් වන බව පසුගිය දිනවල දක්නට ලැබුණි. මේ සියල්ල පාලක පක්ෂ විසින්ම පාලනය කළ යුතු යැයි කිව නොහැකිය. ඊට ජනතා සහය ද අවැසිය. ජනතාවාදී පාලනයක් යනු පාලක පක්ෂයට පාලන ක්‍රමවේදය නිවැරැදි කරවා ගැනීමට ජනතාව දක්වට සහයය. එවැනි සහයක් නොලැබෙන්නේ නම් පාලක පක්ෂ තම අභිමතයට පමණක් පාලන තන්ත්‍රය ඉදිරියට ගෙන යා හැකිය. එනිසා මේ ලැබී තිබෙන්නේ ජනතාවාදී පාලනයක් බව පැහැදිලිය. ජනතාවගේ යෝජනා, අදහස් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ක්‍රියාත්මක වෙමින් තිබේ. අප ඊට සහය දිය යුතුය. එය යථාර්ථයක් කර ගැනීමට දේශපාලනඥයින් සහය දිය යුතුය.

නැවත වරක් මේ රට සංවර්ධනයෙන් ඉහළට ඔසවා තබන්නට හැකි ශක්තිමත් පාලක පක්ෂයක් බිහි වී ඇත. පසුගිය දශක කිහිපයේ අප දුටුවේ ද එයම ය. රටට අනාගත පුරපුරට බොහෝ දෑ උරුම කරන්නට එකී පාලනය සමත් වූ අයුරින්ම වත්මන් පාලන ක්‍රමය ද විප්ලවීය හැරවුමකට ලක් කළ යුතුය. එහි ප්‍රතිලාභ ජනතාවට ලැබිය යුතුය. එවිට නිරායාසයෙන්ම ජනතාව දියුණුව කරා පිවිසෙන්නේය. ජනතාවගේ ආරක්ෂාව, සෞඛ්‍යය, අධ්‍යාපන යනාදි මූලික කාරණා කෙරේ වත්මන් රජය අවධානයට යොමුකොට ඇති බවක් ද පෙනෙන්නට තිබේ. කවර අභියෝගයක් හමුවේ වුව කොරෝනා ව්‍යසනය මර්දනයට එන්නත්කරන වැඩපිළිවෙළ දියත් වෙමින් තිබේ. අධ්‍යාපන අභියෝග ජය ගැනීමට කෙසේ හෝ මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ අධ්‍යාපනය ලබාදීමට අවතීර්ණ වී ඇත. සියල්ල සියයට සියයක් සාර්ථක නොවූවත්, ක්‍රමයෙන් විප්ලවයේ හැරවුමට ජනතාව අවතීර්ණ වී ඇති බවක් දක්නට ලැබේ. අද හෝ හෙට මේ සියල්ලේ ජයග්‍රහණ අත්විඳිය හැකි යැයි අපට කිව නොහැකිය. එහෙත් අනාගතයේ කවර දිනයකදී හෝ වත්මනේ ගන්නා වෑයම සාර්ථක වන බව නොරහසකි. ඊට රහසින් වෛර කරන අනුවණ දේශපාලකයන් පවතින රජයන් විවේචනය කිරීම ස්වාභාවිකය. විවේචකයන්ට අනුව ඔවුන් පාලන බලයේ සිටි කාල පරාසය තුළ ජනතාවට අත්පත් කර දුන්නේ කවර ඉරණමක්දැයි ප්‍රශ්න කළ යුතුය. එය අතීතයට පමණක් උරුම වුව ද සිහිපත් කළ යුතුව ඇත. එනිසා සංවර්ධන ඉලක්ක හඹා යන කවර පාලනයක් වුව එය ජනතාව විසින් රැක ගත යුතුව ඇත. කවර අභියෝගයක් හමුවේ වුව ජනතා අපේක්ෂා වෙනුවෙන් පෙනී සිටින පාලකයන් ආරක්ෂා කර ගත යුතු සේම එවැනි පාලන තන්ත්‍ර පෙරළා දැමීමට පෙර දෙවරක් සිතා බැලිය යුතුය. ග්‍රාමීය ජනතාවටත් නාගරික ජනතාවටත් දෙයාකාරයකට සලකන ප්‍රතිපත්තියක් වේ නම් එකී රජය නිර්දය විවේචනයට ලක් කළ යුතුය. ඒ පිළිබඳ සියල්ලෝම අවදියෙන් සිටිය යුතුය. සියලු පුරවැසියන්ට සමානාත්මතාවෙන් සලකන ජනතාවාදී රජයක යහපත් ප්‍රතිපත්තිවලට සියලු පුරවැසියන් හිස නමා ආචාර කළ යුතුය. ඒ අනුව බැලූ විට වත්මන් රජයේ ප්‍රතිපත්ති ජාතික ප්‍රතිපත්තියක් බවට පරිවර්තනය විය යුතුය. එය කවර රජයක් පැමිණිය ද ඉදිරියට ගෙන යා යුතුය. එනිසා මේ මොහොතේ සියලු භේද පසෙක තබා රටේ ජනතාවගේ ආරක්ෂාවත්, ව්‍යසනයෙන් මුදා ගැනීමටත්, රටේ සංවර්ධනයට බාධා නොකිරීමත් සියලු පුරවැසියන්ගේ මෙන්ම මහජන නියෝජිතයන්ගේ ද පූර්ණ වගකීමක් වන්නේය.

දුමින්ද අලුත්ගෙදර

 

නව අදහස දක්වන්න