නිදහස් වෙළඳ කලාපවල සේවක සේවිකාවන් සඳහාත් කොවිඩ් එන්නත | දිනමිණ

නිදහස් වෙළඳ කලාපවල සේවක සේවිකාවන් සඳහාත් කොවිඩ් එන්නත

සියලුම නිදහස් වෙළඳ කලාපවල සේවක සේවිකාවන් සඳහා ජූලි මස මුල් සතියේ පළමු එන්නත් මාත්‍රාව ලබාදෙන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (12) දින පැවසීය.
 
තිස් වැනි සංවත්සරය සමරන කොග්ගල නිදහස් වෙළද කලාපයේ කර්මාන්තශාලාවන්හි ආයෝජකයන් සහ එහි කළමණාකරුවන් සමඟ එම වෙළඳ කලාප පරිශ්‍රයේ පැවති හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
 
අමාත්‍යවරයා මෙම හමුවට සමගාමීව කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්විය.
 
ආයෝජකයින් සමඟ පැවති සාකච්ඡාවේ දී නිෂ්පාදන හා අපනයන කර්මාන්තයේ දී ඔවුන් මුහුණ දෙන ගැටලු සහ ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව සාකච්ඡා කෙරිණි.
 
කොග්ගල ආයෝජන කලාපයේ හඳුනාගත් පොදු ගැටලු සහ එවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව ද මෙහි දී අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇත
 
ආයෝජන කලාපයට ලැබෙන ජල පරිමාණය වැඩි කරදෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වූ අතර ඒ සඳහා කඩිනම් පියවර ගැනීමට අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
 
මෙම සාකච්ඡාවට වැවිලි කර්මාන්‍ත අමාත්‍ය රමේෂ් පතිරණ, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක, ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල, ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජීව මොහොට්ටාල මහත්වරු සහ ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමා, පළාත් ප්‍රධාන ලේකම්තුමා, කොග්ගල ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලාවල හිමිකරුවන් හා කළමණාකරුවන් ඇතුළු රාජ්‍ය නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.

නව අදහස දක්වන්න