කවුළුවෙන් පලා ගිය සිය හැවිරිදි මිනිසා | දිනමිණ

කවුළුවෙන් පලා ගිය සිය හැවිරිදි මිනිසා

 

අසල් නිවෙසකට වත් යා නොහැකි සේ තම නිවෙස් තුළම සිර වී සිටින නමුදු මිනිසා අන් කවරදාටත් වඩා විසල් ලොව තුළ සැරි සරන්න පටන් ගෙන තිබේ. ඒ අන්තර්ජාල සන්නිවේදනය මඟිනි.

මිනිසා සමාජශීලි සත්ත්වයෙකි. ඔහු සත්ත්වෝද්‍යානයක මෙන් කූඩු කර තැබිය නොහැකිය. එසේ කළ හොත් සිදු වන දේ ඩෙස්මන්ඩ් මොරිස් නමැති සුප්‍රකට සමාජ හා සත්ව විද්‍යාඥයාගේ ‘මනුසත් උයන’ (The Human Zoo) වැනි කෘතියකදී මනාව පැහැදිලි කර ඇත.

මොරිස්ට අනුව නගරය යනු කොන්ක්‍රීට් වනාන්තරයක් නොව; මිනිස් සත්ත්වයන් රැඳවූ සත්තවෝද්‍යානයකි. ඉතිහාසයේ මුලදී ගොවිතැන් කරමින් සිටි මිනිසා නගර සංස්කෘතියට ගොදුරු වීමත් සමඟම (එය ඔහු ඕනෑකමින් කරගත්තකි) වරප්‍රසාදලත් සුපිරි ගෝත්‍රයක් බිහි විය. දියුණු යැයි සැලකෙන සුඛෝපභෝගි ජීවන රටාවක් පිළිබඳ අභිමානයෙන් පසු වූ ඔහු නොදැනුවත්වම වාගේ නියුරෝසියානු චර්යාවන්ට හා මානසික රෝගයන්ට තල්ලු විණි. වනාන්තර තුළ ස්වාභාවික පැවැත්මක් ඇතිව සිටි සත්ත්වයන් සත්තවෝද්‍යාන තුළ කොටු කළ පසු උන් තුළත් දක්නට ලැබුණේ එබඳු අස්වාභාවික චර්යාවන් බව ඩෙස්මන්ඩ් මොරිස් පෙන්වා දෙයි.

කොවිඩ් වසංගතය මඟින් නාගරික සුපිරි ගෝත්‍රිකයා පමණක් නොව; පහළම සමාජ ස්තරයේ විසූ මිනිසුන් පවා හුදෙකලා සත්තවෝද්‍යාන කූඩු තුළ සිරගත කර ඇත.

මේ තත්ත්වය අනුව මිනිසාගේ දුක්-අඳෝනා පාපොච්චාරණ විවරණ අපේක්ෂා හා යෝජනා සැලසුම් ආදිය අන්තර්ජාලය මඟින් ප්‍රකාශ කෙරෙන්න පටන් ගෙන ඇත. ඩෙස්මන්ඩ් මොරිස් වැනි විද්‍යාඥයන් නොවන සාමාන්‍ය පුරවැසි සත්ත්වයෝ සුපිරි ගෝත්‍රික සිරකරුවන් ද ඇතුළුව විවිධ අදහස් අත්දැකීම් බෙදා හදා ගැනීමට පෙලඹී සිටිති. ඒ අතර සාද පැවැත්වීම, ප්‍රේම කිරීම, සමාජශාලා ජීවිතය, නාට්‍ය හා සංගීත ප්‍රසංග නැරඹීම, අවන්හල් වෙත යෑම වැනි දෛනික විනෝද කටයුතු අහිමි වූ මිනිසා ස්කයිප් හා සූම් තාක්ෂණය මඟින් ඒවා පවත්වාගෙන යෑමට හුරු වෙමින් සිටියි. මෙය එක්තරා අන්දමකින් හුදෙකලා සිරකුටියෙන් පලා යෑමකි; අනෙක් අතින් විකෘති වූ සමාජ පැවැත්මකි.

කෙසේ වෙතත් සෑම අඳුරු වලාවකම රිදී රේඛාවක් ද ඇතැයි කියන්නාක් මෙන් කොවිඩ් හුදෙකලාව විසින් මිනිසා තම ජීවිතය හා අවට ලෝකය දෙස ගැඹුරින් හා විවේචනාත්මකව බලන්න පටන් ගෙන තිබෙනු පෙනේ. අධිවේගි ජීවන රටාවකට බිලි වී සිටි ඔහුට ඒ සඳහා අවකාශයක් මෙන්ම අවශ්‍යතාවක් ද නොවිණි. සුපිරි ගෝත්‍රිකයන් ලෙස වැජඹුණු, ටයි කෝට් හැඳ පැලඳ ගත් මහත්වරුන් හා සුරූපී නෝනාවරුන් තුළ සිටියේ ආතතියෙන් හා හිස් මනසින් යුත් විකෘති සත්ත්ව කොට්ඨාසයක් බව පැහැදිලි කිරීමට දැන් ඩෙස්මන්ඩ් මොරිස්ලා අවශ්‍ය නැත.

මෑතකදී අන්තර්ජාලයට එක් කර තිබූ කුඩා කතාවක් (අදහසක්) වෙත ඔබේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.

පෞද්ගලික ආයතනයක උසස් තනතුරක් දැරූ මහත්මයෙක් විශ්‍රාම ලද පසු සුඛෝපභෝගි නිවාස සංකීර්ණයක පදිංචියට එයි. පරණ රැකියාවේ මාන්නය හිසෙන් අත ්නොහළ ඔහු අලුත් පරිසරයේ කිසිවකු ඇසුරු නොකරයි.

සවස් කාලයේදී නිවාස සංකීර්ණය පසෙක පිහිටි උද්‍යානයට ගොස් සක්මනක යෙදීම ඔහුගේ සිරිතකි. දිනක් ඔහු සක්මනින් පසු ගසක් යට ඇති බංකුවක හිඳ මඳක් විවේක ගත්තේය. එහි අනෙක් කෙළවරේ සමවයසේ තවත් මහතෙක් හිඳ සිටියේය. ඔහු අනෙකා දැක කතාවට වැටුණේය.

“මිස්ටර් ළඟදි නේද මෙහෙට ආවේ? කොහෙද වැඩ කරන්නේ?”

ඉන් පසු විශ්‍රාමික මහතා තම පුරාජේරුව කියන්න ගත්තේය. තමා උසස් රැකියාවක් කළ බවත්, සේවකයන් දෙදහසක් පමණ පාලනය කළ බවත්, රජයේ හා පෞද්ගලික අංශයේ වැදගත් පුද්ගලයන් හා මිත්‍රයන් සමඟ තිබූ සමීප ඇසුරත් කියා සිටියේය; එතෙර වෙසෙන දූදරුවන් හා ඥාතීන් ගැන ද විස්තර කීවේය.

මේ අසා සිටි අනෙක් මහතා පැවසුවේ, තමා ද රජයේ ආයතනයක ප්‍රධානියකුව සිටි විශ්‍රාම ගත්තකු බවය. ඉන් පසු මෙසේ ද කියන්න විය:

“මෙතන ඉන්න හුඟ දෙනෙක් විශ්‍රාම ගත් අය. අර ඉස්සරහ බංකුවේ ඉන්නේ හමුදාවේ හිටපු ජෙනරල් කෙනෙක්. අර ඇවිදගෙන යන්නෙ ඉස්සර බැංකුවක ජෙනරල් මැනේජර් කෙනෙක්. එහා පැත්තෙ හෙමින් දුවන්නෙ හිටපු කොමසාරිස් කෙනෙක්. අර විලෝ ගහ යට ඉන්නේ පත්තරේක හිටපු කර්තෘ කෙනෙක්. එයාට එහා පැත්තේ පොලිසියේ ඩීඅයිජී කෙනෙක්. අපි කවුරු මොන තරම් උසස් රැකියා කළත් විශ්‍රාම ගත්තට පස්සේ පිච්චුණු බල්බ් වගේ. අපි කොච්චර දීප්තියක් දුන්නද කියන එක පිච්චුණාට පස්සෙ අදාළ නෑ: අපි එල්ඊඩී ද, සීඑෆ්එල් ද, හැලජන් ද කියන එක අදාළ නෑ. පිච්චුණාට පස්සෙ අපේ වොට් ගණනින් වැඩකුත් නෑ. සේරම කුණු කූඩෙට තමයි.”

මඳ සිනාවක් පෑ රජයේ විශ්‍රාමිකයා යළිත් කතාව පටන් ගත්තේය:

“අපි මේ සත්‍යය වටහා ගත්තාම ජීවත් වෙන්න පහසුයි. උදෑසනට නැඟෙන හිරු වගේම බැස යන හිරුත් ලස්සනයි. ඒත් මිනිස්සු සූර්ය වන්දනාව කරන්නේ නැඟෙන හිරුට විතරයි. බැස යන හිරු දිහා බලන් ඉන්නවා විතරයි; වඳින්නේ නෑ. අපේ නිලතල, පදවි තානාන්තර, ගරු පට්ටම් කිසි දෙයක් ස්ථාවර නෑ; තාවකාලිකයි. ඒ බැඳීම් හරිම කරදරයි. ජීවිතයේ අවිවේකි කරනවා; ප්‍රශ්න මතු කරනවා. අපි ඉන්නේ චෙස් ගේම් එකක. ගේම් එක ඉවර වුණාම කිංටයි (King) පෝන්ටයි (Pown) දෙන්නටම යන්න වෙන්නෙ එකම පෙට්ටියක් ඇතුළට” (මේ කතාව අන්තර්ජාලයට යොමු කළ නිර්නාමික පුද්ගලයාට කෘතඥ වෙමි).

ඉහත කතාවෙන් බොහෝ දෑ උගත හැකිය. විශේෂයෙන්ම කොරෝනා හුදෙකලාව තුළ මෙබඳු අදහස් සංසරණය වීම ද ඉතා වටනේය. තමන් ගැනම අවබෝධ කරගැනීම ජීවිතය පහසු කරවයි.

කෙසේ වෙතත් ‘විශ්‍රාමිකයා’ යනු සමාජයට නොවැදගත්, නිෂ්ප්‍රයෝජන, නිෂ්ක්‍රිය චරිතයක් නොවේ. වියපත් වූවන්ගෙන් ද ලෝකයට සිදු වී ඇති සේවාවන් බොහෝය. කලාව, සාහිත්‍ය හා විද්‍යාව වැනි ක්ෂේත්‍රවල නිරතව සිටින වියපත් පුද්ගලයන් කිසි සේත් අමතක කළ නොහැකිය.

එහෙත් මහලු විය සමඟ අත්වැල් බැඳ ගන්නා, තනිකම හා රෝග පීඩා විසින් ඇති කරවනු ලබන විශාදය වැනි මානසික තත්ත්වයන් ජීවිත ස්වභාවය ලෙස සැලකිය යුතු වෙයි. දූදරුවන් හා හිතමිත්‍රාදීන් දුරස් වීම නිසා ඇති වන කාන්සිය, තනිකම මහලු වියේ ශෝකජනක උරුමයන්ය. කොවිඩ් වසංගතය නැතත් මිනිසාට නියමව තිබූ එබඳු තත්ත්වයන් එය විසින් උග්‍ර කරවනු ලැබීය. කොවිඩ් මාරයාගේ ඉලක්කය වී ඇත්තේම වියපත් රෝගි පුද්ගලයන්ය.

තම ගෝලයා තමන් හා තරගයට එද්දී ‘මට මහලු වයසේ, බැරිය වෙණ ගායනා පෙර සේ’ කිවුවේ ගුත්තිල පඬිතුමාය. අවසානයේදී ශක්‍රයාගේ උදවුවෙන් හෝ එතුමා ජය ගත්තේය.

‘මහල්ලා සහ මුහුද’ (The Old Man and the Sea) නමැති ලෝක ප්‍රකට නවකතාව ලියූ අර්නස්ට් හෙමිං‍වේ මහලු ධීවරයකුගේ ශක්තිය, ධෛර්යය හා ආත්මවිශ්වාසය එමඟින් කියාපෑවේය. ‘මිනිසකු විනාශ කළ හැකිය; එහෙත් පරාජය කළ නොහැකියැ’ යි (man can be destroyed, but not defeated) යැයි කියූ හෙමිංවේ මහලු වියේ ආබාධ ඉදිරියේ පරාජය වෙමින් හිසට වෙඩි තබාගෙන මිය ගියේය.

මහලු විය පිළිබඳ ලියවුණු පද්‍ය, ගීත, කෙටිකතා, නවකතා හා නාට්‍ය කෘතීන්ගෙන් ලෝක සාහිත්‍යයේ විශාල පෙදෙසක් ආවරණය වී ඇත. වියපත් පුද්ගලයන්ගේ අතීතාවර්ජන ඉන් බහුතරයකට වස්තු වේ. පිළිකා හෝ වෙනත් රෝගීන් හෝ මහලු නිවාසයන්හි වෙසෙන චරිත වියපත් සාහිත්‍ය තුළ සුලභය. එසේත් නැත් නම් ජනාකීර්ණ නගර තුළ හුදෙකලාවේ සිටින පුද්ගලයන් මෙන්ම ඈත වනගත පෙදෙස්වල වෙසෙන මහලු චරිත ද අපට හමු වේ.

ස්විඩිශ් ජාතික පුවත්පත් කලාවේදියකු වන ජොනාස් ජොන්සන්ගේ ‘කවුළුවෙන් පැන ගිය සිය හැවිරිදි මිනිසා’ (The Hundred Years Old Man who Climbed out of the Window and Disappeared) නමැති නවකතාවේදී නම් වියපත් සාහිත්‍යයට නුහුරු වූ වෙනස් චරිතයක් මෙන්ම කතා සංකල්පයක් ද හමු වේ.

විචිත්‍ර ජීවිතයක් ගත කර ඇති ඇලන් කාල්සන් නමැති පුද්ගලයා දැන් වෙසෙන්නේ වැඩිහිටි නිවාසයකය. එහෙත් ඔහු හොඳ සෞඛ්‍යයෙන් පසු වෙයි. කාල්සන්ගේ සිය වැනි ජන්ම දිනය උදා වෙයි. එය සැමරුමට උත්සවයක් ද සංවිධානය කෙරෙයි. එහෙත් ඔහු ඊට සහභාගි නොවීමට තීරණය කර, තම කාමරයේ කවුළුවෙන් පැන පලා යයි.

එතැන් සිට කාල්සන් කිසි සේත් අපේක්ෂා නොකළ අපූරු ලෝකයක චාරිකාවක් ඔහුට අත්විඳීමට ලැබෙයි. විසිවැනි සියවසේ වැදගත් සිදුවීම්වලට සහභාගි වන කාල්සන් ඇතැම් විට දේශපාලනික චරිතයක් බවටද පත් වෙයි. උපහාසයෙන් හා හාස්‍යයෙන් පිරි විනෝදාත්මක නවකතාවක් වන මෙය වියපත් මිනිසකුට වුව, ලෝකය තුළ ඉඩක් ඉතිරි වී ඇති බව ද ඉඟි කරයි. කළ යුත්තේ ඔහු තම කවුළුවෙන් පැන පලා යෑම පමණකි.

 

කපිල කුමාර කාලිංග

නව අදහස දක්වන්න